සම්පත් බැංකුව IFC හි ඩො. මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම සමඟින් මෙරට ආර්ථිකය නඟා සිටුවීමට කැපවෙයි

ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් සම්පත් බැංකුව සහ තවත් දේශීය පෞද්ගලික බැංකු 2ක් වෙත cross-currency swap පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

පවතින ආර්ථික අර්බුධය මධ්‍යයේ මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ පියවරක් ලෙස මෙම පහසුකම් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණය කොට තිබීම විශේෂත්වයකි.

ඒ අනුව සම්පත් බැංකුව සහ තවත් පුද්ගලික බැංකු දෙකක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 400ක පහසුකමක් වසරක කාලයක් තුළ ලබා දීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ හා අපනයනයන්ගෙන් 30%කට වැඩි ප්‍රමාණයක් වෙත පහසුකම් සළසමින් පවතින ප්‍රමුඛතම ජාතික බැංකු ත්‍රිත්වය අතරට එක්ව ඇති සම්පත් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමඟ වන දශක දෙකක සබඳතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් මෙරටට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා වන ඩොලරය ඉහළ නැංවීමට මේ තුළින් බලාපොරොත්තු වේ.

සම්පත් බැංකුව විසින් තම ගනුදෙනුකරුවන් හට භාණ්ඩ හා සේවා අපනයනය සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට සහාය වන අතරම ඇමරිකානු ඩොලර් ලෙස ණය ආපසු ගෙවීමේ අවස්ථාව රටට සළසා දෙනු ලබයි. ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නොනවත්වා පවත්වාගෙන යාමට සහයෝගය ලබා දෙමින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් මධ්‍ය හා දිගු කාලීන මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට මෙම පහසුකම තුළින් හැකියාව උදා වන බව සම්පත් බැංකුවේ අදහසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දී ඇති අභියෝගාත්මක අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙම පහසුකම සලසා ඇති බවයි. “මෙම ගනුදෙනුව මඟින් සම්පත් බැංකුවට අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගනිමින් විදේශ මුදල් රඳවා තබා ගැනීම වඩාත් කළමනාකාරී කිරීමට හැකි වන අතර සමස්ත ආර්ථිකයේම සිටින අපගේ ගනුදෙනුකරුවන්ට විදේශ මුදල් මඟින් ණය පහසුකම් ලබා දීමෙන් විදේශ විනිමය නිරාවරණය කාර්යක්ෂමව කර ගැනීමටත් අවකාශ උදාවනවා. ” යනුවෙන්ද ඒ මහතා සඳහන් කරන ලදී.

ගෙවුණු දශක 5ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සුවිසල් සහයෝගයක් ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තව දුරටත් එම සහයෝගය මෙරටට ලබා දෙන බවට මෙම නවතම පහසුකම කදිම නිදසුනක් වනු ඇත. COVID-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිගු කාලීන ප්‍රාග්ධන හා ව්‍යාපාර වෙළෙඳ මූල්‍ය අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 830ක මුදලක් සපයා දෙමින් රැකියා සුරක්ෂිතතාව හා මෙහෙයුම් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කටයුතු කොට ඇත.

මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙහි කැපවීම ප්‍රදර්ශනය කරන මෙම cross-currency swap පහසුකම මේ අභියෝගාත්මක කාල සමයේදී සම්පත් බැංකුව සහ අනෙකුත් පුද්ගලික බැංකු වෙනුවෙන් ලබා දෙමින් ඔවුන්ට සහාය වීමට හැකිවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සිය සතුට පළ කර සිටියි.

Visits: 155