ජනවාරි මාසයේ මුල් දින 22දී සංචාරකයන් 72,000ක් මෙරටට ඇවිත්

මේ වසරේ ජනවාරි 01වැනිදා සිට 22 වැනිදා දක්වා ගත වූ සති තුනක කාලය තුළදී විදෙස් සංචාරකයන් 72,002ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංචර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙය පසුගිය වසරේ ජනවාරි මාසය සඳහා පැමිණි සමස්තසංචාරකයන් සංඛ්‍යාව වූ 82,327 හා සැසඳීමේදී යම් කැපී පෙනෙන ඉහළ යාමකි.

එසේම මෙම කාලසීමාවේදී දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස 3273 කි.

මේ අතර එම අධිකාරිය මගින් පසුගිය සතිය සඳහා නිකුත් කෙරුණු දත්ත අනුව මේ වසරේ ජනවාරි 01වැනිදා සිට 15වැනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 47,353 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව ආසන්න සතියක කාලයකදී සංචාරකයන් 24,649 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එහිදී දිනකට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස 3156 කි.

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් සුඛෝපභෝගී මගී නෞකා ඔස්සේ මෙරටට පැමිණිමත් විශේෂත්වයකි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට වෙත සංචාරකයන් 91,961 දෙනෙකු පැමිණ ඇති අතර, එම වසරේ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 719,978ක් ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක සමය ලබන මාර්තු මාසය දක්වා පවතින අතර ඉදිරි මාස දෙකේදී තවත් සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව බලධාරීන්ගේ අදහස වී තිබේ.

වසරේ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීම් ප්‍රමාණය සිදුව ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. ඉන් අනතුරුව ඉන්දියාව සහ ජර්මනියෙන්ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.

චීනයෙන් කිසිදු සංචාරකයෙකු මෙරටට පැමිණ නොමැති ඇති අතර,මේ වනවිට චීනය සිය COVID-19 සංචරණ සීමා ලිහිල් කර ඇති නිසා ඉදිරියේදී එම සංචාරකයන්ද මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

Visits: 71