අදානි, ජෝන් කීල්ස් සහ වරාය අධිකාරිය එක්ව ඉදිකිරීම් ඇරඹුණු කොළඹ වරායේ බටහිර පර්යන්තය

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සහ ශ්‍රී ලංකාවේ රජයට අයත් වරාය අධිකාරිය යන සමාගම් එක්ව පිහිටුවා ගත් කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගම මගින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භය ලෙස එම වරාය පරිශ්‍රය ආශ්‍රිත මුහුදේ වැලි සහ පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සභාපති කිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගමට අනුව මෙම ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 789ක් පමණ වෙයි. මෙහිදී එම සමාගමේ කොටස්වලින් 51%ක් අදානි සමාගමටත්, 34%ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමටත්, 15%ක් වරාය අධිකාරියටත් හිමිය.

මෙම කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මීටර් 800කින් සමන්විත පර්යන්තයක් ඉදි කෙරේ. එහිදී අර්ධ ස්වයංක්‍රීය පර්යන්ත අද්දර දොඹකර 08ක් මෙහෙයුම් සඳහා යොදා ගන්නා බවත් පැවසෙයි.

එසේම පර්යන්තය තුළ බහාලුම් මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18ක් එක් කිරීමටද නියමිතව ඇත. මීට අමතරව මුළුමනින්ම ස්වයංක්‍රීය ගේට්ටු සංකීර්ණයක්ද, දත්ත විශ්ලේෂණ පද්ධතියක්ද ඉදිකිරීමට යෝජිත බව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගම පවසයි.

Visits: 118