ඇපල් අයිෆෝන් නිපදවන චීනයේ Foxconn කර්මාන්තශාලාව හා ඒ අවට සතියකට ලොක්ඩවුන්?

චීනයේ සෙන්ග්ෂොයු පළාතේ පිහිටි සුප්‍රසිද්ධ Foxconn කර්මාන්තශාලාව ඇතුළුව ඒ අවට ප්‍රදේශය වෙත සතියක කාලයකට ලොක්ඩවුන් සීමා පැනවිමට චීන බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම කර්මාන්තශාලාව ආශ්‍රිතව හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව දිනක් තුළදී 59 සිට 359ක් දක්වා ඉහළ යාම මෙම පියවරට හේතුව වී තිබේ. ඒ අනුව මෙය චීනයේ ශුන්‍ය – කොවිඩ්-19 ප්‍රතිපත්තිය අනුව ගත් තීරණයක් බව සඳහන් වෙයි.

මෙම Foxconn කර්මාන්තශාලාව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන ඇපල් සමාගමෙහි ඇපල් අයිෆෝන් උපාංග නිපදවන ප්‍රධානතම කර්මාන්තශාලාව ලෙසිනි. එසේම එය ලොව පිහිටි විශාලතම අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවද වෙයි.

චින බලධාරින්ට අනුව මෙම ලොක්ඩවුන් සීමාව ලබන නොවැම්බර් 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. මෙම කාලය තුළදී එම කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රය තුළට අවසර නොලත් රථවාහන ඇතුළුවීම හෝ, එම කර්මාන්තශාලාවෙන් රථවාහන පිටතට යෑම තහනම් කෙරී තිබේ. එහිදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව චීන රජය පවසයි. ඒ අනුව මෙම තත්ත්වය කර්මාන්තශාලාවේ නිෂ්පාදන වෙත දැඩිව බලපානු ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර චීනයේ ෂැන්ග්හයි නුවර පිහිටි සුප්‍රසිද්ධ ඩිස්නිලන්තයේදීද COVID-19 ආසාදිතයන් හඳුනාගැනීමත් සමගින්ම එම උද්‍යාන පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමටද බලධාරීන් පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව එම අවස්ථාවේදී උද්‍යානයේ රැඳී සිටි සියලු දෙනාට ඉන් පිටවීම තහනම් විය.

Visits: 118