මෙරට පළමු “Agrivoltaic” සූර්යබලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Windforce PLC සමාගමෙහි මූලිකත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ පිහිට වූ මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සෝලාර් යුනිවර්ස් (පෞද්) සමාගම සූර්ය විදුලිබලාගාරය ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කිරිම ඊයේ සිදු විය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම කටයුතු සිදු විය.

මෙය මෙරට තුළ සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනයට සමගාමීව එම භූමිය තුළ කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය ලෙසින්ද සැලකෙයි. ඒ අනුව මෙය ලංකාවේ පළමු “Agrivoltaic (කෘෂිවෝල්ටීයතා)” සූර්යවිදුලිබලාගාරය ලෙසින්ද සැලකෙයි.

Windforce PLC සමාගමට අමතරව තවත් ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Vidullanka PLC සහ Hi Energy (පෞද්) සමාගම යන සමාගම් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන සිදු කර තිබේ. ඒ අනුව මෙම සෝලාර් යුනිවර්ස් (පෞද්) සමාගම් ව්‍යාපෘතියේ එක සමාන කොටස්හිමිකාරීත්වයක් මෙම සමාගම් අතර බෙදී ගොස් තිබේ.

එම සමාගම් සඳහන් කරන ආකාරයට මෙම බලාගාරය මගින් වාර්ෂිකව ගිගා වොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ. මේ හරහා වාර්ෂිකවට ඩීසල් ලීටර් මිලියන 4.9 ක් රටට ඉතිරි කරනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

Visits: 157