අල්මාස් සමූහය දංකොටුව පෝර්සිලේන්හි 10%ක කොටස් ප්රීතිශතයක් හිමි කර ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතදංකොටුව පොර්සිලේන් පීඑල්සී සමාගම (DPL.N0000) මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් 10%ක කොටස් ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත්වූ බව අල්මාස් සමූහය පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව අනාවරණය කර සිටියි.

දංකොටුව පොර්සිලේන් පීඑල්සී සමාගම ඇම්බියොන් සමූහයට අයත් සමාගමකි. අල්මාස් සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් සමාගමකි.

ඒ අනුව 2022 අගෝස්තු 05 වැනිදා වනවිට අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමෙහි කොටස් අතරින් 16,346,228ක ප්‍රමාණයක් හිමි කරගෙන ඇතැයි එම සමාගම පවසයි.

එම දිනය වනවිට දංකොටුව පොර්සිලේන් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 162,552,920කි. ඒ අනුව අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම හරහා අල්මාස් සමූහය සතුව ඇති කොටස් ප්‍රමාණයේ ප්‍රතිශතය 10.06%ක් වන බව සඳහන් වෙයි.

මෙහිදී දංකොටුව පොර්සිලේන් පීඑල්සී සමාගමෙහි කොටසක් රුපියල් 31.50ක් බැගින් මිලදී ගැනීමක් සිදු කර ඇති බවත් අල්මාස් සමූහය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් 01 වැනිදා නිකුත් කෙරුණු 2021/22 මූල්‍ය වර්ෂයට අදාළ දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමෙහි වාර්ෂිකව වාර්තාවට අනුව 2022 මාර්තු 31 වැනිදා වනවිට එහි කොටස්  හිමිකාරීත්වයෙන් කොටස් 5,284,923ක එනම් 3.25%ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව හා අල්මාස් ඔර්ගනයිසේෂන් (පෞද්) සමාගම එක්ව පවත්වාගෙන යන ගිණුමකට හිමිව තිබුණි.

මේ අතර, පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සිදුකළ අනාවරණයකට අනුව සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහිද 25%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට අල්මාස් සමූහය සමත් විය.

Visits: 146