Genso Power Technologies දායකත්වයෙන් දියත උයනට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බෝට්ටු

මෙරට ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සේවා සම්පාදකයෙකු වන Genso Power Technologies (පෞද්) සමාගමේ දායකත්වයෙන් බත්තරමුල්ල දියත උයන ආශ්‍රිත බෝට්ටු සේවාව සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක බෝට්ටු හඳුන්වාදීමක් පසුගියදා සිදු විය.

ඒ අනුව මෙහිදී සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන බෝට්ටු 04ක් සේවයේ යොදවා තිබේ. ඒ අතරින් බෝට්ටු දෙකක් මගී ප්‍රවාහන කටයුතු සඳහාද, තවත් බෝට්ටු දෙකක් දියවන්නා ඔය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරක කටයුතු සඳහාද යොදා ගැනේ.

කොළඹ නගරයේ දෛනිකව ඇති වන මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙලෙස බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම සිදුවිය.

එහිදී බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වූ අතර, මෙතෙක් කලක් ඒ සඳහා යොදා ගැනුණේ ෆොසිල ඉන්ධන දහන බෝට්ටුය. එහෙත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව Genso Power Technologies සමාගමේ දායකත්වයෙන් මෙලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක බෝට්ටු ඒ සඳහා යොදා ගැනීම සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා “මෙය මෙරට තුළදී සූර්ය පැනල භාවිතා කරමින් බෝට්ටු සඳහා සූර්ය බලය යොදා ගත් පළමු අවස්ථාවයි. ඒ වගේම සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බවටත් මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා. මෙය ඉන්ධන අර්බුදයටත් විසඳුමක් වේවි. ඒ වගේම 100%ක්ම පරිසර හිතකාමී බෝට්ටු සේවාවක් නිසා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයටත් එය හේතුවක් වේවි.” යනුවෙන් සඳහන් කර සිටියි.  

එසේම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මේ අවස්ථාව සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ වෙත අදහස් දැක්වූ Genso Power Technologies සමාගමේ සභාපති ආචාර්ය අවන්ත අතපත්තු මහතා, මෙලෙස සූර්ය පැනල සවි කර ඇති බෝට්ටු නිෂ්පාදනය කෙරුණේද සිය සමාගමක් හරහා බව පවසා සිටියේය.

“මේ බෝට්ටු නිෂ්පාදනය කෙරුණේත් අපගේ මව් සමාගම වන Genso Power Technologies සමාගම යටතේ පවතින මහසෙන් මැරීන් සමාගම මගිනුයි. අපි දැන් වසර හයක පමණ කාලයක් පුරා මේ බෝට්ටු නිෂ්පාදනය කරනවා. මූලිකවම අපේ බෝට්ටු නිෂ්පාදන සිදු කෙරුණේ අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින්. මෙය තමයි ලංකාව තුළ අපගේ බෝට්ටු සහ සූර්ය පැනල එකට එකතු කරමින් බෝට්ටු සේවාවකට යොදවන පළමු අවස්ථාව.”

මෙම සෑම බෝට්ටුවකම සූර්ය පැනල පද්ධතියක්, බැටරියක් මෙන්ම ඉන්වර්ටරයක් පිහිටුවා තිබේ. ඒ අනුව දහවල් කාලයේදී මෙම සූර්ය පැනල මගින් විදුලිය ආරෝපණය කරගැනීම සහ ගබඩා කරගැනීම සිදු කරගත හැකි අතර අනතුරුව ඉන්වර්ටරය ආධාරයෙන් එම විදුලිය රාත්‍රී කාලයේදීද භාවිතා කිරීමේ අවස්ථාව පවතී. එසේම වර්ෂාව අවස්ථාවලදීද කිසිදු බාධාවකින් තොරව මෙම බෝට්ටු යාත්‍රා කිරීමේ හැකියාවද ඇත.

මෙම බෝට්ටු සේවාව මගින් බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට විනාඩි 30ක් ඇතුළත  ලඟාවීමට හැකියාව ඇත. එහිදී බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා  එක් පුද්ගලයකුගේ රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ.

දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්ව විද්‍යාලය,176, බස් මාර්ගය,138 සහ 122 බස් මාර්ග,වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව ඇත.

මෙම බෝට්ටු සේවාවේ ඇති පරිසරහිතකාමී බව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන Genso Power Technologies සමාගමේ සභාපති ආචාර්ය අවන්ත අතපත්තු මහතා, ඒවායින් කිසිදු ශබ්දයක් පිට නොවීම මූලික අවස්ථාවක් බව පවසා සිටියි.

“සූර්ය පැනල හරහා නිපදවෙන විදුලියට සම්බන්ධ කර ඇති මෝටරයක් මගින් ක්‍රියාත්මක කෙරෙන නිසා මේ බෝට්ටුවලින් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නෑ. ඒ නිසා මේ ඇල මාර්ගය ආශ්‍රිතව ජීවත් වෙන පක්ෂීන්ගේ, මත්ස්‍යයන් ඇතුළු ජල ජීවීන්ගේ අභිජනනය ඇතුළු ජීවන චක්‍රයට කිසිම මින් බාධාවක් නෑ. විශේෂයෙන්ම මේ බෝට්ටු මගින් රැලි ඇති වීම පාලනය කර තිබෙන නිසා සිදුවන ඉවුරු ඛාදනය උපරිමව අවම කිරීමක් සිදුව තිබෙනවා.” ඒ මහතා පැවසීය.

මේ අතර ඉදිරියේදී මෙම සූර්ය පැනල බෝට්ටු සේවාව වෙත ආයෝජනයට කැමැත්තෙන් සිටින ආයෝජකයන් හට ඒ සඳහා අවස්ථාව පවතින බවත් ආචාර්ය අතපත්තු මහතා සඳහන් කළේය. එහිදී ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමගින් ඇති කරගන්නා වසර 10ක එකඟතා ගිවිසුම යටතේ ආදායම් බෙදා ගැනීමේ එකඟතාවකට පිවිසීමේ අවස්ථාව ඇත. ඒ සඳහා අවශ්‍ය වන සියලුම තාක්ෂණික සහයෝගය ලබාදීමට Genso Power Technologies සමාගම සූදානමින් සිටින බවත් ඒ මහතා පවසයි.

Visits: 96