ප්‍රදීප් අමිර්තනායගම් යළිත් People’s Leasing & Finance සභාපති ධුරයට

මහජන බැංකුව යටතේ පරිපාලිත මූල්‍ය සහ කල්බදු සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance) හි හිටපු සභාපතිවරයෙකු වන මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා යළිත් එම ධුරයට පත් කෙරී ඇතැයි එම සමාගම නිවේදනය කරයි. 

ඒ අනුව සැප්තැම්බර් 12 වැනිදා (ඊයේ) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබෙන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි සඳහන් වෙයි. සමාගමේ වත්මන් සභාපතිවරයා වන මහජන බැංකුවෙහි සභාපති සුජීව රාජපක්ෂ මහතා වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබේ.

මෙම පත්වීම ලබන අවස්තාව වන විට ඒ මහතා සතුව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි 11,943ක කොටස් හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි.

පසුගිය ජූලි මාසයේදී ඔහු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ගැනීම සිදු විය.

මීට පෙරද මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඒ අනුව 2019 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ඔහු එම ධුරයට පත් කෙරිණි. 

එවකට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයාව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 2019 ඔක්තෝබර් 12 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙම පත් කිරීම සිදුවිය. 

ප්‍රදීප් අමිර්තනායගම් මහතා සභාපති ධුරයට පත් කිරීමට පෙර 2016 වසරේ අප්‍රේල් මාසයේ සිට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ බව එම සමාගම පවසයි.

එහෙත් 2020 වසරේ පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු ධුරවලින් ඉවත් කිරිම සිදුවිය.

එහිදී හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය. එම අවස්ථාව වන විට ඔහු සතුව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් 10,302ක් පැවැති බවත් සඳහන් විය.

Visits: 83