නව නිර්මාණාත්මක තාරුණ්‍යය සොයා යෑමට Black Lotus ‘Brand Fantasies’ දියත් කෙරේ

මෙරට වෙළෙඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ වසර 14ක් පුරා අත්දැකීම් සහිත Black Lotus (Pvt) Ltd ආයතනය තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, මෙරට නව නිර්මාණාත්මක තාරුණ්‍යය සොයා යෑමේ අරමුණින් Black Lotus ‘Brand Fantasies’ නමින් නවමු වැඩසටහනක් දියත් කර ඇතැයි පවසයි.

වෙළෙඳ නාමයක සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීමකින් තොරව නිර්මාණකරුවන්ට තමන්ගේ සිතැඟි පරිදි, එම වෙළෙඳ නාමයටද හානියක් සිදු නොවී, යම් නිර්මාණාත්මක ආකාරයෙන් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනේ අදහස වී තිබේ.

මෙහිදී විශේෂයෙන්ම වෙළෙඳ නාමයක මුල් ස්වරූපය නිසාම යම් රාමුවකට කොටු වී සිටින නිර්මාණකරුවන් ඉන් මුදවා ගෙන ඔවුන් අතින් යම් අලුත් ෆැන්ටසි ආකාරයේ නිර්මාණයක් මතු කරගැනීම Black Lotus ‘Brand Fantasies’ හි අපේක්ෂාවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Black Lotus (Pvt) Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නෙලුම් කළුපහන මහතා, “දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ දශක එකහමාරකට ආසන්න කාලයක් පුරා නියැලී සිටින පිරිසක් විදියට අපි දන්නවා ඕනෑම සමාගමක අලෙවිකරණ අංශයට අවශ්‍ය වෙන්නේ තමන්ගේ වෙළෙඳ නාමය සාම්ප්‍රදායික ක්‍රමයෙන්ම ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නයි. අපි හැමදාම වැඩ කළේ, වැඩ කරන්නෙත් මේ සමාගම්වල උපායමාර්ගික අදහස් සහ උපදෙස්වලට අනුවයි. හැබැයි මේ නිසාම යම් අවස්ථාවක් එනවා මේ සමාගම් ඒ දැන්වීම් නිර්මාණ ආයතනවල නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වෙන.

ඒත් ඇත්තම කිව්වොත් මේ නිර්මාණකරුවන්ට හොඳ නිර්මාණාත්මක දක්ෂතාවක් තියෙනවා. ඒක එළියට දාන්න අවස්ථාවක් නැතිකමයි තියෙන්නේ. අපේ නිර්මාණකරුවෝ හැමදාම කියන්නේ අපිට වෙනස් දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේම නැද්ද කියලයි.” යනුවෙන් පවසයි.

ඒ අනුව මෙහි ආරම්භයක් ලෙස Black Lotus (Pvt) Ltd දැන්වීම් ආයතනය තුළ සිටින නිර්මාණකරුවන්ට සිය ගනුදෙනුකාර සමාගම් කිහිපයක වෙළෙඳ නාම ලබාදී ඒවාට ගැලපෙන ආකාරයෙන් යම් නව නිර්මාණයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව උද කර දී ඇත.

“දැනටමත් අපිට මේ Black Lotus ‘Brand Fantasies’ හරහා අලුත් නිර්මාණ කිහිපයක්ම දැක බලාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි තවමත් එළිදක්වලා තියෙන්නේ Milo සඳහා සකස් කළ නිර්මාණය පමණයි. තවත් සමාගම් කිහිපයකම නිර්මාණ අපි ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ වෙළෙඳ නාම හරහා මේ නිර්මාණකරුවන් ඇගයීමක් විදියට යම් තෑගි ප්‍රදානයකටත් අපි සූදානම් වෙනවා.” යනුවෙන්ද නෙලුම් කළුපහන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර මෙම Black Lotus ‘Brand Fantasies’ අදහස ඉදිරියේදී රට පුරාම සිටින නව නිර්මාණකරුවන් සඳහා විවෘත කිරීමටත් එම අයතනය සූදානමින් සිටියි. එසේම ඉදිරිපත් වන නව නිර්මාණ අතරින් හොඳම නිර්මාණ තෝරි තෑගි ලබාදීමේ වැඩපිළිවෙලන්ද දැනටමත් සකස් කරමින් යන බවත් එම ආයතනය පවසයි.

මෙම අවස්ථාව උදා කිරීම හරහා රට තුළ නවමු නිර්මාණාත්මක අදහස් ඇති නිර්මාණකරුවන් පිරිසක් බිහි කර ගැනීමට මඟ පෑදීමත් Black Lotus (Pvt) Ltd s හි අරමුණ වී තිබේ. ඉන් ලංකාවේ නිර්මාණකරුවන්ට හොඳ වෙළෙඳ පොළක් හිමි වනු ඇතැයිද යන්න එම ආයතනයේ විශ්වාසයයි.

Visits: 49