ලංකා අයිඕසී සඳහා අලුත් පිරවුම්හල් 50ක් විවෘත කිරිමට අනුමැතිය – කොටසක අගයත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වෙත අලුතින් පිරවුම්හල් 50ක් විවෘත කිරිම සඳහා අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

එම සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව පවසා සිටියි.

ඒ අනුව රටපුරාම අලුතින් පිරවුම්හල් 50ක් විවෘත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙලෙස අනුමැතිය ලබා දී තිබෙන බව සමාගම සඳහන් කර තිබේ.

වසර 20කට ආසන්න කාලයක් මෙරට තුළ සිය මෙහෙයුම් සිදු කරන ලංකා අයිඕසී සමාගම සතුව පසුගිය වසරේ අගෝස්තු 31 වැනිදා වන විට රට පුරා පිරවුම්හල් 210ක සංඛ්‍යාවක් පැවතුණි. ඒ අනුව ඉදිරියේදී මෙම සංඛ්‍යාව 260ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

මේ අතර අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ලංකාඅයිඕසී (LIOC.N0000) කොටසක වටිනාකම රුපියල් 129.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා දිනයේදී කොටසක අගය වූ රුපියල් 113.00ට සාපේක්ෂව රුපියල් 16.50 කින් එනම් 14.60%කින් ඉහළ යාමකි.

Visits: 99