සැම්සුන්ග් සමාගම නිපදවූ ලොව පළමු නැනෝමීටර් 3 චිප් තොගය නැව්ගත කිරිම අරඹයි

ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික උපාංග නිෂ්පාදන සමාගමක් වන දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම නිපදවූ ලොව පළමු නැනෝමීටර් 3 (3nm) චිප් තොගය නැව්ගත කිරීම ඊයේ (25දා) ආරම්භ කර තිබේ. මෙම අවස්ථාව වෙනුවෙන් එම සමාගම ඊයේ විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.

දකුණු කොරියාවේ ගියෝන්ග්ගි පළාතේ පිහිටි හ්වාසෙඔන්ග් කර්මාන්ත පරිශ්‍රය තුළ මෙම නැනෝමීටර් 3 චිප නිෂ්පාදනය කෙරී තිබේ. සමාගමට අනුව මෙය පළමු පරම්පරාවේ 3nm ලෙසද සැලකෙයි. මෙම නවතම 3nm චිපයේ බලශක්ති පරිභෝජනය දැනට භාවිත කෙරෙන 5nm චිපයකට සාපේක්ෂව 45%කින් අඩු කෙරෙන බවත්, GAA (gate-all-around) ක්‍රමවේදය යොදා ගන්නා නිසා එහි කාර්යසාධනය 23%කින් ඉහළ නංවන බවත් සඳහන් වෙයි.

සැම්සුන්ග් සමාගම සඳහන් කරන ආකාරයට එහි ඉංජිනේරුවරුන් විසින් මෙම GAA තාක්ෂණය සහිත ට්‍රාන්සිස්ටර් පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත්තේ 2000 දශකයේ ආරම්භයේදීය. අනතුරුව 2017 දී අත්හදා බැලීමක් ලෙස මෙම චිප නිර්මාණය කර තිබේ. අනතුරුව මෙම 3nm චිප වාණිජ වශයෙන් මහා පරිමාණය නිෂ්පාදනය ආරම්භ කෙරුණේ පසුගිය මාසයේදීය.

Visits: 130