ඉන්දියානු රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවප්‍රමාණයවීමක

අද (19දා) දිනයේදී ඉන්දියානු රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දරුණු අවප්‍රමාණය විමට ලක් වූ බව එරට මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියානු බැංකු අතර විදේශ මුදල් ගණුදෙනු ආරම්භයත් සමගින්ම මෙම තත්ත්වය වාර්තා වී තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලර් එකක වටිනාකම ඉන්දියානු රුපියල් 80.06ක් දක්වා ඉහළ නැගි අතර මෙය එතෙක් මෙතෙක් ඩොලරයක් සඳහා වන වටිනාකම එම ඉන්දියානු රුපියල් අගයට පත් වූ පළමු අවස්ථාවද වෙයි. එසේම ඉන්දියානු රුපියල ඩොලරයට සාපේක්ෂව පහළ බැසි ඉහළම අගයද මෙය වෙයි.

මීට පෙර 2014 වසරේදීද ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල 80 සිමාවට ළගා වී තිබේ.

ඊයේ (18දා) දිනය නිමාවේදී ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 79.97ක් ලෙස සටහන්ව තිබුණි. අද දිනයේදී ඇති වූ මෙම තත්ත්වයත් සමගින්ම මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියානු රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 7%කින් අවප්‍රමාණය වී ඇතැයි පැවසෙයි.

මෙලෙස ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල අවප්‍රමාණය විම සඳහා මූලිකවම රුසියානු -යුක්රේන යුද ගැටුම් නිසා ඇතිව තිබෙන භූදේශපාලනික අර්බුදකාරී තත්ත්වය සහ අස්ථාවරත්වය හේතු වී ඇතැයි ඉන්දියානු මාධ්‍ය පවසයි. එහිදී ඒ සමගම ඇති වී තිබෙන උද්ධමනය මූලික වී තිබේ.

එසේම ඉන්දියානු ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් සැලකියුතු ආකාරයෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑමද මෙලෙස ඉන්දියානු රුපියල අවප්‍රමාණයට හේතුව වී තිබේ. 2022-23 මූල්‍ය වර්ෂය තුළදී මේ දක්වා විදේශීය ආයෝජකයන් සිය ආයෝජක කළඹ තුළින් ඩොලර් බිලියන 14ක් පමණ වන ආයෝජන ඉවත් කරගැනීමට පියවර ගෙන ඇතැයිද සඳහන් වෙයි.

එසේම මේ වසර තුළදී පමණක් ඉවත් කරගත් විදෙස් ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 30ක් ඉක්මවයි.

විශේෂයෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ දියුණු ආර්ථිකයන් සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් පොළී අනුපාත ඉහළ දැමීම මෙලෙස දියුණු වෙමින් පවතින වෙළෙඳ පොළ තුළින් ආයෝජකයන් සිය ආයෝජන ඉවත් කරගැනීමට මූලිකවම හේතුව වී තිබේ.

මේ අතරින් එක්සත් ජනපද සංචිත බැංකුව එරට 9%ක් වන උද්ධමන අනුපාතය පාලනය සදහා පසුගිය මාසයේදී සිය පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කළේය. එසේම ඉදිරි සතියේදීද එක්සත් ජනපදය සිය පොළී අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

Visits: 244