ස්මිත්‍රි මන්දනා ආයුර්වේද සමාගමකට මුදල් ආයෝජනය කරමින් ව්‍යාපාර ලොවට පිවිසෙයි

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව වන ස්මිත්‍රි මන්දානා එරට ගුරුග්රාම් හි පිහිටි Neem Ayu නම් ආයුර්වේද සමාගමක් වෙත සිය මුදල් ආයෝජනය කරමින් ව්‍යාපාර ලෝකය වෙත පිවිස ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මන්දනා මේ වනවිට Neem Ayu සමාගමේ සන්නාම තානාපතිවරිය ලෙසද කටයුතු කරයි. කෙසේ වෙතත් මෙහිදී ඇය කොපමණ මුදලක් එම සමාගම වෙත ආයෝජනය කර ඇත්දැයි යන්න අනාවරණය වී නැත.

විශේෂයෙන්ම මන්දනා තුළ ආයුර්වේදය සම්බන්ධයෙන් පවතින පිළිගැනීම සහ විශ්වාසය මෙලෙස ඇය එම සමාගම වෙත මුදල් ආයෝජනයට හේතු වන්නට ඇතැයි පැවසෙයි. මෙහිදී ඇය එම සමාගමේ ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි සඳහන් වෙයි.

මන්දනා අද වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා එක්දින වර්ගීකරණයේ නවවැනි ස්ථානයේ පසුවෙයි. එසේම ඇය ලොව පුරා තරුණයන්ගේ ආදරය දිනාගත් සිත්ගත් තරුවක් බවටද පත්ව තිබේ.

මෙම ආයෝජනයත් සමගින්ම ස්මිත්‍රි මන්දනා ව්‍යාපාර ලෝකයට පිවිසි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට අලුතින්ම එක්වුණු සාමාජිකාව බවටද පත්වෙයි. එසේම එතෙක් මෙතෙක් එවැනි පියවරක් ගත් පළමු ඉන්දියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නේද ඇය.

මීට පෙර ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කපිල් දේව්, මහේන්ද්‍ර සිං දෝනි, සචින් තෙන්දුල්කාර්, විරාත් කෝලි සහ රොබින් උත්තප්පා මෙලෙස සිය මුදල් ව්‍යාපාර තුළ ආයෝජනය කර තිබේ.

මේ අතරින් 1983 ලෝක කුසලානය ජයගත් ඉන්දියාවේ හිටපු නායක කපිල් දේව් 2005 වසරේ සිටම සමාගම් තුළ මුදල් ආයෝජනය කර තිබේ. මෑතකදී ඔහු SloPho නම් ක්‍රීඩා ජංගම දුරකතන ඇප් වැඩසටහන දියත් කළ අතර, අන්තර්ජාලය හරහා සිල්ලර භාණ්ඩ අලෙවි කරන PeopleEasy.com වෙබ් අඩවියේද ආයෝජකයෙකි.

එසේම 2011 දී ඉන්දියාව වෙත ලෝක ක්‍රිකට් කුසලානය දිනා දුන් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මේ වනවිට ඉන්දියානු වෙළෙඳ නාම රැසකටම සියමුදල් ආයෝජනය කර තිබේ. එසේම 2012 වසරේදී ඔහු SportsFit නමින් වන යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා වන උපදෙස් ලබා දෙන සමාගමක් ඇරඹුවේය.

සචින් තෙන්දුල්කාර්ද 2016 වසරේදී Smartron India නම් IoT සමාගමක් වෙත සියමුදල් ආයෝජනය කළේය. එසේම ඔහු එහි සන්නාම තානාපතිවරයාද වෙයි. මීට අමතරව තෙන්දුල්කාර් සතුව Musafir, S Drive සහ Universal Collectabilia යන සමාගම්වලද කොටස් හිමිකාරීත්වයක් පවතින බව සඳහන් වෙයි.

ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායකයයෙකු වන විරාත් කෝලි අන් සියල්ලන්ටම වඩා සක්‍රීය ආයෝජකයෙකි. ඔහු සිය මුදල් ව්‍යාපාර තුළ ආයෝජනය අරඹා ඇත්තේ වයස අවුරුදු 25 දීය. එහිදී ඔහුගේ ආයෝජන කළඹ වෙත අලුතින්ම එක් වූ සමාගම වන්නේ Rage Coffee සමාගමයි. ඊට අමතරව ඔහු Galactus Funware Technology පෞද්ගලික සමාගමේ, Digit Insurance සහ Blue Tribe යන සමාගම් තුළද ඔහු මුදල් ආයෝජනය කර ඇත.

මීට අමතරව ඉන්දියානු කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වන රොබින් උත්තප්පා මේවනවිට iTiffin නම් අන්තර්ජාලය හරහා කෙටිආහාර බෙදා හැරිමේ වෙබ් අඩවිය වෙත මුදල් ආයෝජනය කර ඇත. එසේම ඔහු බැංගලෝරයේ පිහිටි HealthEminds නම් සමාගමක් තුළ අනාවරණය නොකෙරුණු ආයෝජනයක් සිදු කර ඇතැයිද පැවසෙයි. මීට අමතරව ඔහුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක Caffeine Ventures නම් ආයෝජන අරමුදලක්ද පවතින බවත් සඳහන් වෙයි.

Visits: 200