SME ව්‍යවසායකයින්ට තාක්ෂණික සහයෝගය සඳහා HNB බැංකුව Bileeta සමග අත්වැල් බැඳගනියි

හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning – ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

HNB සහ Bileeta Ltd අතර ඇතිකරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවය මගින් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට විකුණුම් සහ මූල්‍ය විගණනය, තොරතුරු පවත්වාගෙන යන ලේඛන කළමනාකරණය, ප‍්‍රසම්පාදන, සේවා කළමනාකරණය, ස්ථාවර වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදනය වැනි ඔවුන්ගේ විවිධ ව්‍යාපාරික කටයුතු විධිමත්ව කරගෙන යාමටත් දිගුකාලීන වශයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය කළමනාකරණය කර ගැනීමටත් හැකි වේ. HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී, සංජි ද සිල්වා යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”තාක්ෂණය යනු සංවිධාන මෙන්ම ලෝක ආර්ථිකයන් පවා ගොඩ නැගීමට සහ ඉහළට ඔසවා තැබීමට සමත් අත්‍යවශ්‍ය සාධකයක්. ඒ හරහා සමාගම්වලට නිසි දැනුම, විශේෂඥතාව සහ උපාය මාර්ග සමඟ අභ්‍යන්තර සහ බාහිර සම්බන්ධතා පුළුල් කරගත හැකි අතර ආදායම් සහ ව්‍යාපාරකරණය තුළ ඔවුන්ගේ ඉහළම හැකියාවන් වෙත ලගා වීමට අවශ්‍ය දායකත්වය ලබාගත හැකියි.”

ඒ අනුව ENTUTION ERP Solution ලෙස නම් කර ඇති ERP වේදිකාව වෙළෙඳපොළට හඳුන්වා දීමටත් එම පද්ධතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ කෙසේදැයි ආදිය පිළිබඳ දැනුම ලබා දීමටත් HNB සහ Bileeta එක්ව කටයුතු කරන බව සහතික වෙයි.

මෙම හවුල්කාරිත්වය හරහා HNB හි පාරිභෝගිකයින්ට පුහුණුව සහ ඇතුල්වීමේ ගාස්තු නොමැතිව විශේෂ අඩු කළ මිලකට මෙම විසඳුම ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි. එමෙන්ම තාක්ෂණික සහාය අවශ්‍ය SME ව්‍යවසායකයින් හඳුනා ගැනීම හා ඔවුන්ව සම්බන්ධ කරගෙන සියලූම කලාපවලට මෙම විසඳුම් හඳුන්වා දීමටත් එමගින් SME ව්‍යවසායකයින්ගේ  ප‍්‍රමිතීන් ඉහළ නැංවීමට අරමුණු කරගනිමින් බැංකුව Bileeta සමඟ එක්ව කටයුතු කරනු ඇත.

”සංවිධානවල ඉතා වේගවත් හා විප්ලවීය වර්ධනයක් තාක්ෂණය තුළින් සිදු කිරීමට හැකි බව අප දැක තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාවට මෙවැනි බලපෑමක් ඇති කිරීමට HNB සමඟ හවුල් වීමට ලැබීම සැබවින්ම අපට ගෞරවයක්. SME ව්‍යවසායකයින්ට අන්කවරදාටත් වඩා දැන් අපගේ සහය අවශ්‍යයි.” යනුවෙන් Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා මහතා පවසයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ වැඩි විස්තර 0112661771 ඔස්සේ HNB නෙත්මිණි සහ 077439960 ඔස්සේ Bileeta නෙරුෂාන් ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 88