මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයෙන් මූල්‍ය සමාගම් දෙකකට ලක්ෂ 15ක දඩ

මුදල් ගනුදෙනු කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය වෙත පැවරී ඇති බලතල අනුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් දෙකක් වෙත රුපියල් ලක්ෂ 15ක දඩ පැමිණවීමක් සිදු කර ඇතැයි මහ බැංකුව පවසයි.

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව මෙම දණ්ඩන පැනවීමේ අවස්ථාව මහ බැංකුව වෙත හිමිව තිබේ.

ඒ අනුව මෙහිදී ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත රුපියල් ලක්ෂ 10ක දඩ පැමිණවීමක් සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වෙත රුපියල් ලක්ෂ 5ක දඩයක් ලෙස මෙම දඩ පැමිණවීම සිදු කර තිබේ. 2021 සැප්තැම්බර් 14 වැනිදා මෙම දණ්ඩන පනවන ලද බව මහ බැංකුව සඳහන් කරයි.

එම මූල්‍ය සමාගම් 2021 සිව්වැනි කාර්තුව තුළදී මෙලෙස අදාළ ප්‍රතිපාදවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කිරීම මෙලෙස දණ්ඩන පැමිණවීමට හේතුව වී තිබේ. ඒ අනුව මෙම අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගනිමින් මෙම දණ්ඩන නියම කර තිබේ.

මෙම සමාගම් දෙකම එක්සත් ජාතීන්ගේ සමබාධකවලට අදාළ පිරික්සුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වූ 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් මෙම දණ්ඩනය පැනවී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එසේම හඳුනාගනු ලැබූ දුර්වලතා නිවැරදි කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන විසින් කටයුතු ආරම්භ කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 164