ගාල්ලේදී පැවැත්වෙන ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ෂේන් වෝන් වෙනුවෙන් නම් කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ලබන ජූනි 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් බදු වූ අභාවප්‍රාප්ත ෂේන් වෝන් වෙනුවෙන් නම් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කර තිබේ.

“ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගය ෂේන් වෝර්න් වෙනුවෙන් නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංචාරක අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව පියවර ගෙන තිබෙනවා.”

මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ස්ථිර කර ඇති ආකාරයට මෙම තරගය සඳහා ෂේන් වෝර්න්ගේ පවුලේ සාමාජිකයන්ද සහභාගි වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ෂේන්වෝර්න් මේ වසරේ මාර්තු 04 වැනිදා අභාවප්‍රාප්ත විය.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූනි 29 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වාත්, දෙවැනි තරගය ජූලි 08 වැනිදා සිට 12 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 1679