ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය SalamAir ගුවන් යානයෙහි “C” පරීක්ෂාව සාර්ථකව අවසන් කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය පාරිභෝගික ගුවන් සේවයක් වන SalamAir සඳහා“C” පරීක්ෂාව ඉතා සාර්ථකව පසුගියදා සම්පූර්ණ කළ අතර එය ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය ලඟාකරගත් සාර්ථක ජයග්‍රහණයක් සේ සැලකිය හැකි බව එම සමාගම පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය 2020 වසරේ සිට අනෙකුත් ගුවන් සමාගම් වෙත නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීම සිදුකරන අතර එමගින් ගුවන් සමාගමට සහ රටට අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණයක් ගෙන ඒමට හැකි වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ MRO අංශය යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන තත්ත්ව සහතිකය ලබා ගනිමින් එයාර් බස් සමාගමේ A320neo ගුවන් යානා සඳහා ද විශිෂ්ඨතම සේවාවක් සැපයීමට අනුමැතිය හිමිකර ගෙන තිබේ.

ඒ අනුව SalamAir හි A320neo ගුවන් යානය සඳහා සිය සේවාව ලබාදෙන ලදී. මෙවැනි නඩත්තු කිරීමේ කොන්ත්‍රාත්තු මගින් ගුවන් සමාගමට ලාභදායී තත්වයක් වර්ධනය කර ගත හැකි වනු ඇත. තවද, එවැනි MRO ව්‍යාපෘති වලින් උපයන ආදායම සාමාන්‍යයෙන් විදේශ මුදලින් හිමි වන අතර එමඟින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ගුවන් සමාගමට සහ රට සඳහා විදේශ මුදල් උත්පාදනය කරයි.

වසර ගණනාවක් පුරා, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය උසස් තත්ත්වයේ MRO සේවාවන් සැපයීම සඳහා ශක්තිමත් වාර්තාවක් තබා ඇත. ඔවුන් සතුව අවශ්‍ය මානව හා තාක්ෂණික සම්පත් තිබීම, ගුවන් සේවය ඉන්දියන් සාගරයේ උපාය මාර්ගිකව පිහිටා ඇති ගුවන් කේන්ද්‍රස්ථානයක් වීම සහ ජාත්‍යන්තර සහතික කිරීම් ලබාගෙන තිබීම මෙම කටයුතු සඳහා වඩා වැදගත් වනු ඇත.

එසේම ඉංජිනේරු අංශය අවශ්‍ය ජාත්‍යන්තර සහතික කිරීම් සහ කලාපයේම විධිමත් ගුවන් සේවා නඩත්තු පහසුකම් සපයන ගුවන් සේවය වශයෙන් කීර්ති නාමයට පත් වී ඇත. එබැවින් කලාපයෙන් සහ ඉන් ඔබ්බට නව ඉහළ වටිනාකම් සහිත ගිවිසුම් ලබාගැනීමට ගුවන් සේවයට හැකි වී තිබේ. පසුගිය මාස 12 තුළ ගුවන් යානා MRO ක්‍රියාකාරකම්වලට අදාළව සේවා සැපයීම සඳහා ආසියාවේ සහ මැදපෙරදිග අනෙකුත් ගුවන් සේවා සහ ලීසිං සමාගම් සමඟ නව ගිවිසුම් පහක් අත්සන් කිරීම මෙයට ඇතුළත් වේ.

Visits: 125