Apple Inc. පසුකරමින් සෞදියේ Aramco ලොව වටිනාම සමාගම වෙයි

සෞදි අරාබියේ පිහිටි ලොව විශාලතම බොරතෙල් අපනයනය සමාගම වන ඇරැම්කෝ (Aramco) සමාගම ලොව වටිනාම සමාගම බවට පත්ව ඇතැයි වාර්තා වෙයි. එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන  ඇපල් ඉන්කෝපරේෂන් (Apple Inc.) සමාගම පසු කරමින් ඇරැම්කෝ සමාගම මෙම ස්ථානය හිමි කරගෙන තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට ඇරැම්කෝ සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.426ක් ලෙස සටහන්ව ඇති අතර, ඇපල් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 2.415 කි.

මෙහිදී මූලිකවම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමගින්ම ඇරැම්කෝ සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාම මෙලෙස සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඉහළ යාමට හේතුව වී තිබේ.

මෙය වසර 2020 න් පසුව සෞදියේ ඇරැම්කෝ සමාගම ලොව වටිනාම සමාගම බවට පත් වූ පළමු අවස්ථාවද වෙයි. වසංගතය අවස්ථාවේදී බොරතෙල් මිල පහළ යෑම ඊට හේතු විය.

කෙසේ වෙතත් වසංගතයත් සමගින්ම තාක්ෂණික සමාගම්වල කොටස් වටිනාකම් ඉහළයාම හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේදී ඇපල් සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 3ක් ලෙස සටහන් විය. එසේම එම තත්ත්වයට පත්වූ ලොව පළමු සමාගම බවටත් ඇපල් සමාගම ඉතිහාසයට එක් විය.

එහෙත් එක්සත් ජනපද ෆෙඩරල් මුදල් ප්‍රතිපත්ති වෙනස්වීම සහ උද්ධමනය ඉහළ යාම කාරණා නිසා ඇපල් කොටස් වටිනාකම් පහත වැටීම සිදුවී තිබේ.

Visits: 130