ශ්‍රී ලංකා රජය තමන් සතු ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

වර්තමානයේදී බලපෑමට ලක්ව ඇති සියලුම රාජ්‍ය ණය සඳහා වන සාමාන්‍ය ණය ආපසු ගෙවීම යම් කිසි කාලයක් සඳහා අත්හිටුවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අද දිනයේදී ලිපියක් මගින් මේ බව දැනුම් දී සිටියි.

මෙහිදී මූලිකවම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය අනුව ජාතන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබන ආර්ථික ගැළපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම ණය ආපසු ගෙවීමේ වගකීම් ක්‍රමානුකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යූහගතකරණය සිදුකරන තෙක් එලෙස එම තාවකාලික අත්හිටුවීම සිදු කෙරෙන බව එහි සඳහන් වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, “ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබූ දා සිට විදේශ ණය සේවා ගෙවීම් සිදුකිරීම කිසිදිනෙක පැහැර හැර නැහැ. කෙසේ වුවත්, කොවිඩ් 19 වසංගතය බලපෑම සහ යුක්‍රේනයේ සිදුවන සටන් නිසා ඇතිවන අහිතකර තත්ත්වයන් ද ඇතුළුව මෑත කාලීන සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීමකට ලක්ව ඇත.” යනුවෙන් සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන බව තක්සේරු කරන ලදී.

ඒ අනුව මෙම කටුක යථාර්ථයට මුහුණ දීමේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ වැඩසටහනක් නිර්මාණය කර ගැනීම සහ හදිසි මූල්‍ය සහාය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ප්‍රවේශ වී ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මෙහිදී රජයේ මෙම ප්‍රතිපත්තිය කාණ්ඩ තුනක ණය සඳහා අදාළ වන බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

1. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළේ නිකුත් කර ඇති සියලු පියවීමට ඇති බැඳුම්කර කාණ්ඩ.
2. ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ මහ බැංකු අතර පවතින විදේශ විනිමය පහසුකම් හැර සියලු ද්විපාර්ශවීය, රජයකින් රජයට ලබා දී ඇති ණය
3. ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් ණ්‍යගැතියා වන වානිජ බැංකු හෝ ආයතනික ණය දෙන්නන් සමඟ ඇති සියලුම විදේශ මුදලින් නාමනය කරන ලද ණය ගිවිසුම් හෝ ණය පහසුකම්. එම ආයතන විදේශ රජයටන්ට අයිති හෝ පාලනය වන අවස්ථාවන් ද ඇතුළත්ව සහ තෙවන පාර්ශවයක ණය සඳහා සකස් කර ඇති ඇපකර හෝ සමාන මූල්‍ය පොරොන්දු මත රජය හෝ රාජ්‍ය අංශය විසින් ගෙවිය යුතු අන්තර්කාලීන පරිච්ඡේදයේ කැඳවුම් ලබන සියලු අගයයන් මෙයට අයත් වේ.

Visits: 134