“ලැයිස්තුගත සමාගම් තුළ වාර්තාකරණයේ විනිවිදභාවය මධ්‍යස්ථයි” – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා කියයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුළ පවතින වාර්තාකරණයේ විනිවිදභාවය මධ්‍යස්ථ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. එම ආයතනය මගින් සකස් කළ 2021 වසරේ සමාගම් වාර්තාකරණය පිළිබඳ TRAC 2021 වාර්තාව අද (පෙබරවාරි 01) එළිදක්වමින් පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

2021 ජූනි 01 වැනි දිනට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතව සමාගම් අතරින් ප්‍රාග්ධනීකරණයට අනුව ප්‍රමුඛතම සමාගම් 75ක වාර්තාකරණය මෙහිදී ඇගයීමට ලක් කෙරී ඇත. ඒ අනුව තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිදිවභාවය මත පදනම්ව මෙම ඇගයීම සිදු කර තිබේ.

පසුගිය 2020 වසර සඳහාද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙවැනිම TRAC වාර්තාවක් සකස් කළ අතර, මෙය එහි දෙවැන්න වෙයි. පළමු අවස්ථාවේදී ලැයිස්තුගත සමාගම් 50ක් මේ සඳහා යොදා ගත් අතර මෙවර එය 75ක් දක්වා ඉහළ නංවා තිබේ.

“අඛණ්ඩව දෙවැනි වරටත් සිදු කෙරෙන මෙම ඇගයීම දූෂණය පිටුදැකීමට සහ ඊට එරෙහිව සටන් කිරීමට අත්‍යවශ්‍ය වෙනස් තේමා තුනකට අයත් අංශ පදනම් කරගෙන සම්පාදනය කර තිබේ. ඒවා නම් දූෂණ විරෝධී වැඩසටහන්, සමාගම් හිමිකාරීත්වයේ විනිවිදභාවය සහ දේශීය මෙහෙයුම් කටයුතුවල මූලික මූල්‍ය තොරතුරු අනාවරණය යන්නයි.” යනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

මෙහිදී අවම ලකුණු ප්‍රමාණය බින්දුව ලෙසත් උපරිම ලකුණු ප්‍රමාණය 10 ලෙසත් ගණන් බලා තිබේ. ඒ අනුව මෙම සමාගම් තුළ වාර්තාකරණය සම්බන්ධයෙන් වන සාමාන්‍ය අගය 6.9ක් වූ බවත්, එය මධ්‍යස්ත විනිවිදභාවයක් ලෙස අනාවරණය වූ බවත් එම ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.

“මෙම ඇගයීමේදී සමස්තයක් වශයෙන් ඉහළම අගය එනම් ලකුණු 10න් 10ක්ම හිමිකරගනිමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පළමු ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය වසරේදීත් එම සමාගම තමයි පළමු තැනට පත් වුණේ. එසේම එකම ලකුණු ලබාගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම් පත්වුණා. ඒනිසා ඒවායේ අකාරාදි පිළිවෙල අනුව මෙම ශ්‍රේණිගත කිරිම සිදු කර තිබෙනවා.” යනුවෙන්ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරයි.

මෙම වාර්තාකරණයේ ඇගයීම සකස් කිරිම සඳහා මෙම සමාගම් මගින් නිකුක් තර ඇති ආසන්නතම වාර්ෂික වාර්තා, ආයතන වෙබ් අඩවි සහ අනෙකුත් ප්‍රසිද්ධියට පත් කර ඇති සමාගමට අදාළ ලේඛන තුළ ඇතුළත් දත්ත යොදා ගෙන තිබේ.

“මෙම TRAC 2021 වාර්තාවෙන් සමාගම්වල දූෂණ විරෝධී ප්‍රතිපත්ති හෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම පිළිබඳ ඇගයීමක් කර නැහැ. ඒ නිසා අවම ලකුණු හිමිවීම එම සමාගම සතුව ශක්තිමත් දූෂණ විරෝධී වැඩසටහනක් නැති බවක් හෝ සමාගම තුළ යම් වැරදි සිදුවන බවක් අදහස් කෙරෙන්නේ නෑ. ඒ වගේම ඉහළ ලකුණු ලබා ගෙන ශක්තිමත් සාංගමික අනාවරණ පද්ධති පෙන්නුම් කළත් ඒවායේ මෙහෙයුම් සහ ක්‍රියාකාරී සාර්ථකත්වයක් ඉන් පිළිබිඹු වෙන්නේ නෑ.” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම TRAC 2021 වාර්තාව හරහා  සමාගම් වෙත සිය අනාවරණ භාවිතයන් වැඩිදියුණු කරගැනීම සඳහා විස්තරාත්මක නිර්දේශ ඉදිරිපත් කරන තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් හොඳ ලකුණු මට්ටම්වලට ළගාවීමට එම සමාගම් වෙත අවස්ථාව හිමිවන බවත් එම ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීශානි පෙරේරා මහත්මිය, “සමාගම් වඩාත් වැඩියෙන් විනිවිදභාවයෙන් කටයුතු කරනවා කියන්නේ එම සමාගම්වල පවතින දූෂණය අඩු වෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවේ පෞද්ගලික අංශය සැලකෙන්නේ දූෂණයට අනුබල දෙන්නෙක් හැටියටයි. පෞද්ගලික අංශයේ ප්‍රජා දායකත්වය, දූෂණ විරෝධී ප්‍රතිපත්තිමය උපායමාර්ග හෝ ආයතනික ව්‍යුහය සම්බන්ධයෙන් සිය තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අනිවාර්යය කෙරෙන නීතිමය රාමුවක් නොමැතිවීමයි. ඒ අනුව මේ වාර්තාවෙන් රෙගුලාසිවල සිදුවිය යුතු වෙනස්කම්වල වැදගත්කමත් ඉස්මතු කරන අතර අදාළ නීති සහ රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙන් රජයට කරන නිර්දේශත් ඇතුළත් වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා ආයතනය මගින් සකස් කළ මෙම TRAC වාර්තාව www.tisrilanka.org/trac2021/ යන වෙබ් ලිපිනය ඔස්සේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Visits: 335