දිනය තුළ රුපියල් බිලියන 1ක් ඉක්මවූ විදේශ ආයෝජන පිටතට ගලායෑමක්

අද (ජනවාරි 07) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස්තැරැව්කාර සමාගම් පවසයි. එහිදී වටිනා සමාගම් කොටස් මිලදී ගැනීමේ කෙරෙහි වැඩි උනන්දුවක් දැකගත හැකි වී තිබේ. කෙසේ වෙතත් රටෙහි උද්ධමනයේ ඉහළ යාම සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්හි පහතවැටිම් යනාදිය ආයෝජකයන් තුළ කණස්සලු බව ඉහළ දැමීමට හේතුව වී ඇතැයිද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,167.47ත් ඒකක 13,315.54ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,280.94ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 06) දිනයට සාපේක්ෂව ඒකක 111.54ක් එනම් +0.85%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ වැලිබල් වන් පීඑල්සී VONE (+31.0), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+23.6), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+20.5), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+18.4), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+17.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-35.19), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-25.6), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-18.5), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-12.8), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-9.5) යනාදී සමාගම්ය.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී, එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 3.5%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,554.99ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 06) ‍ට සාපේක්ෂව ඒකක 39.90ක එනම් +0.88%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 11.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 06) වාර්තා කළ රුපියල් බිලියන 9.46 ට සාපේක්ෂව 23% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.97ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.68%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 165.09ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1,177.37ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 1,017.28 කි. ඒ අනුව වසර ආරම්භයේ සිට මේ දක්වා ගලා ආ විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.69කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  44.72කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් අමානා තකාෆුල් බැංකුව පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 810.05ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,454ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ බැංකු සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,227ක සහ රුපියල් මිලියන 1,285ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 426