වසරේ පළමු දිනයේ ASPI නව වාර්තාවකට – දෙවැනි දිනටත් විදේශ ආයෝජන ගලා ඒමක්

නව වසර සඳහා අද (ජනවාරි 03) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී ඉතාමත් සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත්විමට අද සමත්විය. එසේම වැඩිම දෛනික වටිනාකම්ඉහළ යාමත් අද වාර්තාවී තිබේ. එහිදී විශේෂයෙන්ම LOLC සමූහයේ වටිනාකම් ඉහළ යාම ඊට හේතුව බව එම සමාගම් පවසයි.

එසේම වටිනා සමාගම් කෙරෙහි වූ මිලදී ගැනීමේ උනන්දුව දිනය පුරාමත් දැකගත හැකි වූ බවත්, ඉදිරියේදී මිල වටිනාකම් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත සමාගම් කොටස් අගයන් සැලකිය යුතු අන්දමකින් ඉහළ ගිය බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,225.17ත් ඒකක 12,647.59ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,625.82ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 31) දිනයට සාපේක්ෂව ඒකක 399.81ක් එනම් +3.27%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+79.5), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+58.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+50.3), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+50.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+35.2), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-5.2), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-2.6), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-1.9), එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් පීඑල්සී AHUN (-1.4), ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-1.3) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී, රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සහ කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 4.8%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 137ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 74ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,343.35ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 31) ‍ට සාපේක්ෂව ඒකක 110.1ක එනම් +2.6%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.64ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 31) වාර්තා කළ රුපියල් බිලියන 8.24ට  සාපේක්ෂව 17% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.67ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 3.27%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 119.21ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 106.3ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.91කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  20.8කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.52ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,363ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1‍,928ක සහ රුපියල් මිලියන 1,415ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 250