බිටුමෙන් ටැංකි පර්යන්තයක් සඳහා ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් හම්බන්තොට වරාය සමග එකඟතාවකට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ බිටුමෙන් ටැංකි පර්යන්තයක් ඉදිකිරිම සඳහා වන අවබෝධතා ගිවිසුම් එකඟතාවකට (MoU) හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමගින් අත්සන් තැබීමත් සිදුකළ බව ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී (IAC) සමාගම අනාවරණය කරයි.

පසුගිය දෙසැම්බර් 22 වැනිදා මෙම එකඟතාව වෙත අත්සන් තැබීම සිදුව තිබේ. මෙහිදී ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් සමාගම සහ Hiin Holdings Pte Ltd (Hiin) සමාගම සමගින් ඒකාබද්ධව ඇති කරගන්නා ලද සමාගමක් විසින් මෙම එකඟතාවට පිවිස තිබෙන බව ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම අනාවරණය කරයි.

මෙහිදී එම ඒකාබද්ධ හවුල්කාරීත්වය ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම වෙත 60%ක් සහ Hiin Holdings Pte Ltd (Hiin) සමාගම වෙත 40%ක හිමිකාරීත්වයක් වන ලෙස සිදු වී තිබේ.

ඒ අනුව මෙම එකඟතාව මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ සම්පූර්ණයෙන්ම අන්තර්ග්‍රහණය වූ බිටුමෙන් ටැංකි සමූහයක් ස්ථාපිත කිරීමේ අවස්ථාව උදා වන බවත් මෙහිදී සඳහන් වී තිබේ.

එසේම මෙම අවබෝධතා ගිවිසුම මගින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමට මෙම බිටුමෙන් ටැංකි පරිශ්‍රය හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරිම සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමගින් පවතින මූල්‍යමය සහ තාක්ෂණික අධ්‍යයනයන් සිදු කිරීම/අවසන් කිරීමට සිය ඒකාබද්ධ හවුල්කරුවා වන Hiin Holdings Pte Ltd. සමගින් එක්ව කටයුතු කිරීම අවස්ථාව සලසා දෙනු ඇති බවත් එම සමාගම පවසයි.

එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී/Hiin Holdings Pre Ltd සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය අතර ඇති කරගන්නා සුවිශේෂී එකඟතාව සඳහා අත්සන් තැබීමෙන් අනතුරුව සිදු වෙනු ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

මෙලෙස හම්බන්තොට වරාය පාදක කරගත් එම බිටුමෙන් ටැංකි සමූහය ස්ථාපිත කිරීමේ අරමුණ වන්නේ දේශීය වෙළෙඳ පොළ වෙත අවශ්‍ය බිටුමෙන් තාර සැපයීම මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය යන වේගයෙන් වර්ධනයවන දකුණු ආසියානු වෙළෙඳ පොළ වෙත යොමුවීම බවත් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

එහිදී මෙම හම්බන්තොට වරාය පිහිටි උපායමාර්ගික ස්ථානයද ඊට යොදා ගත හැකි බවත්, ඒ හරහා ගෝලීයව බිටුමෙන් තොට ලබා ගැනීම මෙන්ම ඒවා අවශ්‍ය වෙළෙඳ පොළ වෙත ප්‍රවාහනය කිරිමටත් හැකියාව ලැබෙන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 596