Toyota C+ pod රථය ගැනුම්කරුවන් වෙත මිලදී ගැනීමට විවෘත වෙයි

ජපානයේ Toyota සමාගම කුඩා මාදිලියේ රථයක් ලෙස නිර්මාණය කළ Toyota C+ pod රථය දැන් එරට පාරිභෝගිකයන් සඳහා මිලදී ගැනීමට අවස්ථා උදා කරදී ඇතැයි පවසයි. මෙය ආසන දෙකකින් යුත් මෝටර් රථයකි. විශේෂයෙන්ම අධික මාර්ග තදබදයක් පවතින නගර සඳහා මෙම රථය ඉදිරිපත් කර තිබේ.

Toyota C+ pod රථය ක්‍රියාත්මක වන්නේ විදුලියෙනි. ඒ අනුව මෙය ටොයොටා සමාගමේ පළමු විදුලි මෝටර් රථය ලෙසින්ද හැඳින්වෙයි. අනාගතයට අවශ්‍ය අහිතකර වායු විමෝචනයෙන් තොර වඩාත් පරිසර හිතකාමී මෝටර් රථ ඉදිරිපත් කිරීමක් ලෙස Toyota සමාගම මෙම නව හඳුන්වාදීම සිදු කර ඇත.

2020 දෙසැම්බර් මාසයේදී පළමුවරට හඳුන්වාදුන් මෙම මෝටර් රථය එරට සමාගම් සහ රජයේ කාර්යාලය වෙත භාවිතය සඳහා මිලදී ගැනීමට ලබා දී තිබුණි. එහෙත් අද වනවිට එම රථය තනි පුද්ගලයන් සඳහාද මිලදී ගැනීමේ අවස්ථාව සලසා තිබේ.

ආසන දෙකක් සහිත මෙම Toyota C+Pod රථය කුඩා ප්‍රමාණයේ රථයකටත් (උදාහරණ ටාටා නැනෝ) වඩා ප්‍රමාණයෙන් කුඩාය. එහි දිග මිලිමීටර් 2,490කි. පළල මිලිමීටර් 1,290කි. උස මිලිමිටර් 1,550කි. එය සම්පූර්ණයෙන්ම බලගැන්වෙන්නේ ආරෝපණය කළ හැකි බැටරියකිනි. එය කිලෝවොට්පැය 9.06ක බලයකින් යුක්ත ලිතියම් අයන් බැටරියකි. රථයේ සියලුම විදුලිපහන් එල්ඊඩී පහන් වෙයි. හැකි උපරිම ආකාරයෙන් රථයේ බර අඩුවන ලෙස එය නිෂ්පාදනය කර ඇත. රථයේ උපරිම වේගය පැයට සැතපුම් 60කි. වර්ණ තුනකින් එය ඉදිරිපත්ව තිබේ.

මෙම Toyota C+Pod රථය ඕනෑම ආකාරයක ගැටිමකින් ඇතිවිය හැකි බලපෑමක් අවම කිරිම සඳහා හැකිවන ලෙස නිර්මාණය කර තිබෙන බවත් ටොයෝටා සමාගම පවසයි. එහිදී තවත් වාහනයක් හා ගැටිමට පෙර ඒ පිළිබඳව දැනුම් දෙන ආරක්ෂක පද්ධතියක් එහි ඇතුළත්ව ඇතැයි සඳහන් වෙයි.

Views: 4412