ටෙලිකොම් සමාගම සිය SLT Campus (පෞද්) සමාගම රු.මිලියන 410කට අලෙවි කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම රුපියල් මිලියන 410ක (410,000,000ක) මුදලකට අලෙවි කළ බව පවසයි.

ටෙලිකොම් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඊයේ (14දා) මේ බව දැනුම් දී තිබේ. මෙහිදී Tempest Two (පෞද්) සමාගම නම් සමාගමක් එම මිලදී ගැනීම සිදු කර තිබේ.

ටෙලිකොම් සමාගම සඳහන් කරන ආකාරයට අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ (Level 5 හි) මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබේ.

ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බව පවසයි.

මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි.

මෙලෙස SLT Capmus (පෞද්) සමාගම මිලදී ගත් Tempest Two (පෞද්) සමාගම Tempest PE Partners (පෞද්) සමාගමේ ආයෝජන හස්තය ලෙසින්ද සැලකෙයි. කැපිටල් එලායන්ස් සහ ඉන්සයිට් හෝල්ඩිංග්ස් යන සමාගම්වල ඒකාබද්ධවීමෙන් මෙම Tempest PE Partners (පෞද්) සමාගම බිහි වී තිබේ.

කැපිටල් එලායන්ස් යටතේ ක්‍රියාත්මක Capital Alliance Partners Limited (CAL) සමාගම ලියාපදිංචි වී ඇත්තේද නවම් මාවතේ පිහිටි මෙම Tempest Two (පෞද්) සමාගම ලියාපදිංචි වී ඇති ලිපිනයේය.

Visits: 4364