Hypro සන්නාමය යටතේ මෙරට තුළ ජංගම දුරකතන එකලස් කිරීමට සහ නිෂ්පාදනයට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකතන එකලස් කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගම හා හයිප්‍රෝ හෝල්ඩිංග්ස් ලිමිටඩ් සහ දකුණු කොරියාවේ Lodule International Ltd සමාගම අතර පසුගියදා සිදු විය.

මෙහිදී 4G මාදිලියේ ස්මාට් ජංගම දුරකතන නිෂ්පාදනය සැලසුම වී ඇති අතර, මෙරට වෙළෙඳ පොළ වෙත මෙන්ම දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ අප්‍රිකානු කලාපය ඇතුළු කලාප වෙත අපනයනය ඉලක්ක කරගනිමින් මෙම නිෂ්පාදන සිදු කරන බවත් එම සමාගම් පවසයි.

අදාළ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමේ හා හයිප්‍රෝ හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා සහ Lodule International සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Byungehul Kim අතර සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති Lodule International සභාපතිවරයා, කොරියාවේ පිහිටි සිය සමාගම දැනටමත් ලොව ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සහ රූපවාහිනි නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය ස්මාට්ෆෝන් අමතර කොටස් සහ LCT පැනල නිෂ්පාදනය සහ සැපයුම සිදු කරන බවත් පවසා තිබේ.

“ශ්‍රී ලංකාවේ මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගම අපිව සම්බන්ධ කරගත් අවස්ථාවේදී අපි තීරණය කළා අපේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවට රැගෙන යන්න.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව Lodule සමාගම මගින් මෙම කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය යන්ත්‍ර සහ ජංගම දුරකතන එකලස් තිරීම සඳහා අවශ්‍ය උපාංග මෙරටට එවීමට නියමිතව තිබේ. එසේම මෙම කටයුතු සුපරීක්ෂණය සහ මෙහෙයවීම සඳහා කොරියානු ඉංජිනේරුවරුන් කිහිප දෙනෙකුද මෙරටට එවීමට සැලුසුම් කර ඇත. එම පිරිස මගින් මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අදාළ තාක්ෂණය හයිප්‍රෝ හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකා වෙත හුවමාරු කරනු ඇතැයි පැවසෙයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා, “අපගේ සමාගම විසින් දැනටමත් විදුලි උපාංග කොටස් දේශීයව නිපදවීමත් සමගින්ම, ජංගම දුරකතන උපාංගත් උතාහරණ විදියට ජංගම දුරකතන කවර ඇතුළු තවත් කොටස් මෙරටදී නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.” යනුවෙන් පවසා තිබේ.

Lodule International සභාපතිවරයාට අනුව මෙය ආරම්භයක් පමණක් වන බවත්, අනාගතයේදී සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ 5G ස්මාට්ෆෝන් නිෂ්පාදනයට මෙන්ම LCD රූපවාහිනි පැනල එකලස් කිරීමේ කටයුතුත් හඳුන්වාදීමට සූදානමින් සිටින බව සඳහන් කර තිබේ.

සමරවික්‍රම මහතා සඳහන් කරන ආකාරයට මෙම නව ජංගම දුරකතන Hypro යන සන්නාමයෙන් වෙළෙඳ පොළට නිකුත් වීමට නියමිතව ඇත. ඊට අදාළ විවිධ කොටස් සහ අනෙකුත් උපාංග දැනටමත් මෙරට වෙත ආනයනය කර ඇති බවත්, ඒ අනුව මෙය ශ්‍රී ලංකාව තුළ නිපදවෙන පළමු ජංගම දුරකතනය වනු ඇති බවත් ඒ මහතා පවසයි.

එහිදී මේ වසරේ දෙසැම්බර් මාසයේදී පමණ එම ජංගම දුරකතන වෙළෙඳ පොළට නිකුත් කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත්, රුපියල් 30,000කට වඩා අඩුවෙන් එය මිල කෙරෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම අවස්ථාව වෙත සම්බන්ධවී සිට ඇති දකුණු කොරියාවේ හිටපු තානාපති සහ විදේශඅමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සාජ් යූ. මෙන්ඩිස් මහතා, Hypro සන්නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ නිපදවූ ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනස් කරනු ඇති බවත්, එය රට ඉහළ-තාක්ෂණික රටක් බවට පත්කරනු ඇති බවත් සඳහන් කර තිබේ.

Visits: 180