සොෆ්ටොල්ජික් සමූහය සිය ඩිජිටල් හවුල්කරුවා ලෙස නිමල් පෙරේරාගේ Arimac Lanka තෝරා ගනී

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සමාගම් සඳහා වන නව ඩිජිටල් හවුල්කරුවා ලෙස මෙරට මුල් පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Arimac Lanka (පෞද්) සමාගම තෝරා පත් කරගෙන ඇතැයි සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

පසුගියදා නිකුත් කෙරුණු 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. මෙහිදී වසර පහක කාලයක් සඳහා එම සමාගම විසින් Arimac සමාගම තෝරා ගෙන ඇත.

“අපි ඉදිරි වසර 5ක කාලයක් සඳහා අපේ නව ඩිජිටල් හවුල්කරුවා ලෙස Arimac Lanka (පෞද්) සමාගම පත් කරගෙන තිබෙනවා. ඔවුන් දැනටමත් සොෆ්ට්ලොජික් සමගින් එක්ව අපගේ ගනුදෙනුකරුවන් වෙත වඩාත් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි සියලු දේ අන්තර්ගත වූ ඩිජිටල් වේදිකාවක් පිහිටුවීම සඳහා වන කටයුතු ආරම්භ කරලා.” යනුවෙන් අශෝක් පතිරගේ මහතා මෙහිදී සඳහන් කර ඇත.

ඒ මහතා සඳහන් කරන ආකාරයට මෙහිදී සොෆ්ට්ලොජික් සහ Arimac එකමුතුවෙන් සොෆ්ට්ලොජික් සඳහා නව සුපිරි ඇප් වැඩසටහනක් නිර්මාණය කරමින් සිටියි. Softlogic One ලෙස නම් කර ඇති මෙය ඉතාමත් සරලව එක් බොත්තමක් එබීමෙන් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් පිවිසිය හැකි වැඩසටහනක් වනු ඇතැයි ඔහු මෙහිදී පවසා තිබේ.

“මෙතැනදී පාරිභෝගිකයන්ට සොෆ්ට්ලොජික් සමූහයට අයත් එකිනෙකට වෙනස් සියලුම ආකාරයේ සමාගම් වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීම සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙය පිහිටුවේවි.” යනුවෙන්ද සභාපතිවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම රට තුළ 100%කට ආසන්න අන්තර්ජාල සබඳතාවක් පැවතීමත් සමගින්ම තොරතුරු තාක්ෂණික විසඳුම් සඳහා වන ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇතැයිද තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසයි.

2011 වසරේදී පිහිටවුණු Arimac සමාගම අද වනවිට මෙරට සමාගම් රැසක් සඳහාම ඩිජිටල් විසඳුම් ලබා දිම සිදු කරයි. එමිරේට්ස්, නෙස්ලේ, කොකාකෝලා, ජෝන්සන් ඇන්ඩ් ජොන්සන්, ඔගිල්වි, යුනිලිවර්, මයික්‍රොසොෆ්ට්, ෆොන්ටෙරා, වොඩෆෝන්, හොන්ඩා, MAS, ඩයලොග්,බ්‍රැන්ඩික්ස් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය, හේමාස් ඇතුළු බහුජාතික සමාගම් ඇතුළු සමාගම් රැසක් ඒ අතර පවතී.

සොෆ්ට්ලොජික් සමාගමද සිය ඩිජිටල් මෙහෙයුම් සම්බන්ධයෙන් තම සමාගම කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳවද Arimac සමාගම පසුගියදා ස්තූතිපූර්වක සටහනක්ද තබා තිබුණි.

එම සමාගම 2017 වසරේදී නිර්මාණය කළ කංචායුධ නම් පරිගණක ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ නිපදවුණු පළමු ත්‍රිමාණ ක්‍රියාකාරකම් සහිත පරිගණක ක්‍රීඩාවද වෙයි. 

ආසන්න කාලසීමාවේදී Arimac සමාගම වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ එම සමාගම මගින් නිර්මාණය කර ඇති NERO නම් පරිගණක ක්‍රීඩාව සහ Diyasen නමින් ඉදිරිපත් කර ඇති රොබෝවයි. මෙම අංග දෙකම මෙරට පරිගණක ඉංජිනේරුවරුන් විසින් සංවර්ධනය කළ නිර්මාණ වීම විශේෂත්වයකි.

එම සමාගමේ නිර්මාතෘවරයා වන්නේ චමීර ජයසිංහ ඇතුළු කණ්ඩායමයි. ඔහු Arimac Lanka (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි. මීට අමතරව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස දුලංජනද සිල්වා, ප්‍රශාන් පෙරේරා, චින්තක සඳහරුවන් සහ තිලිණ ප්‍රේමසිරි යන පිරිස් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙයි.

අද වනවිට Arimac සමාගමේ 50% ක කොටස් හිමිකාරීත්වයක් පවතින්නේ මෙරට සුප්‍රකට ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතාට අයත් NP Capital සමාගමටයි.  ඒ සඳහා ඔහු විසින් සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 250ක් (250,000,000ක්) බව සඳහන් වෙයි. ඒ අනුව ඒ මහතා Arimac Lanka (පෞද්) සමාගමේ වත්මන් සභාපතිවරයා වන්නේද නිමල් පෙරේරා මහතාය.

පසුගියදා Arimac Lanka (පෞද්) සමාගමේ 10 වැනි වර්ෂ පූර්ණය අවස්ථාවේදී සටහනක් තැබූ එම සමාගමේ ප්‍රධානීන් සිය කටයුතු සාර්ථක කරගැනීම සඳහා නිමල් පෙරේරා මහතා සිදු කළ ආයෝජනය පිළිබඳව ස්තූතිවන්ත වෙමින් සටහනක් තබා තිබුණි.

Visits: 617