මහ බැංකුවෙහි මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව යළි ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව (FSSCC – Financial System Stability Consultative Committee) 2021 ඔක්තෝබර් 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නැවත ස්ථාපිත කිරිමක් සිදු කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙහිදී මූල්‍ය අංශයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වන පරිදි මෙම කමිටුව නැවත ස්ථාපිත කිරීම සිදුව ඇතැයිද මහ බැංකුව පවසයි.

“මෙම කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ක්‍රියාත්මක වන ඉහළ මට්ටමේ කමිටුවකි. එය මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මහ බැංකුවට සහාය වීම පිණිස අදහස් හා උපදෙස් ලබා දෙන සාකච්ඡාවලට පහසුකම් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද්දකි.” මහබැංකුව වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ලංකා ක්ලියර් පූද්ගලික සමාගමේ සභාපති ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.

කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලක්ෂ්මන්ද සිල්වා, ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ උප සභාපති සංජය බණ්ඩාර, ලංකා වාණිජ මන්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, කොළඹ වරාය නගර කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මහතා සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී සභාපති ක්‍රිෂාන් බාලේන්දු යන මහත්වරුන් නැවත පිහිටුවන ලද මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුවෙහි සෙසු සාමාජිකයන් වෙයි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 80