ඉන්දුනීසියාව අශුද්ධ පාම් ඔයිල් අපනයනය නවත්වයි

ලොව විශාලතම පාම් ඔයිල් අපනයනකරුවා වන ඉන්දුනීසියාව ඉදිරියේදී සිය පාම් ඔයිල් නිෂ්පාදන අශුද්ධ (Crude) තත්ත්වයෙන් අපනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ වෙනුවට ශුද්ධ (refined) කෙරුණු නිෂ්පාදන ලෙස පමණක් එම පාම් ඔයිල් අපනයන කරන බව එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අද එරට රජයේ නිලධාරීන් හමුවේ සඳහන් කර තිබේ.

ඉන්දුනීසියාව එරට තුළ ස්වාභාවික සම්පත් ආශ්‍රිත දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණින් සහ සිය සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම සීමා කරමින් අදාළ දේශීය කර්මාන්ත සඳහා උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙයි.

“ඇතැම් කාරණා සලකා බැලීමෙන් පසුව අශුද්ධ පාම් ඔයිල් අපනයනය නැවැත්විය යුතුයි කියන තීරණයට අපි ආවා. එතැනදී එම පාම් ඔයිල් අපනයනය කළ යුත්තේ රූපලාවන්‍ය නිෂ්පාදන, මාගරින්, බයෝඩීසල් හෝ වෙනත් ව්‍යුත්පන්න ලෙසයි.” ජනපති ජොකොවි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය වසරේදී ඉන්දුනීසියාව සිදු කළ සමස්ත පාම් ඔයිල් අපනයනය වන ටොන් මිලියන 34න් 21%කට ආසන්න ප්‍රතිශතයක් සඳහා දායක වී ඇත්තේ මෙම අශුද්ධ පාම් ඔයිල් නිෂ්පාදනයි. එසේම එය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී 9%කින් පමණ ඉහළ ගොස් තිබේ.

Views: 174