ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමුවීම නිසා දර්ශක අගයන් තවත් පහත වැටේ

අද (ඔක්තෝබර් 13) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම පොළී අනුපාත ඉහළ යාම සහ උද්ධමනය ඉහළ යාමේ පීඩනය තවදුරටත් ආර්ථිකය වෙත බලපෑම එල්ල කිරීම ආයෝජකයන් තුළ කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබේ. එසේම දිනය පුරාම දැකගත හැකි වූ ලාභ ඉපැයීම්ද දර්ශක අගයන් පහත වැටීමට බලපා තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 9,482.56ත් ඒකක 9,644.59ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,497.49ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 12) දිනයට සාපේක්ෂව ඒකක 142.87ක් එනම් -1.48%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, එක්ස්පෝලංකා පීඑල්සී සහ ත්‍රී ඒකර් ෆාම්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනුවක් පිරිවැටුමෙන් 3.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 29ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 162ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ටැල් ලංකා හොටේල්ස් පීඑල්සී TAJ (+1.25), හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී HARI (+0.86), ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී ASPH (+0.84), ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (+0.84), අමානා බැංකුව ABL (+0.6), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-16.53), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-15.35), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-12.88), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.67), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-8.68) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,506.91ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 12) ‍ට සාපේක්ෂව ඒකක 62.48ක එනම් -1.75%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.38ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 12) වාර්තා කළ රුපියල් බිලියන 2.06 ට  සාපේක්ෂව 65% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.23ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 42.95%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 42.36ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 23.87ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.49කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.27ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.17 කි. එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 889ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 706ක සහ රුපියල් මිලියන 578ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 296