ලංකා IOC කොටසකට ශත 85 ක ලාභාංශ ගෙවීම දෙසැම්බර් 17දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි පීඑල්සී (LIOC.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ගෙවීමට යෝජනා කර තිබූ ලාභාංශ ගෙවීම ලබන දෙසැම්බර් 17 වැනිදා සිදු කරන බව ප්‍රකාශයට පත් කර සිටියි.

එම සමාගම විසින් පසුගිය මැයි 20 වැනිදා ගත් තීරණයකට අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 85ක් බැගින් ලාභාංශ ගෙවන බව නිවේදනය කෙරිණි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් විය. එහෙත් එම අවස්ථාවේදී මෙම ලාභාංශ ගෙවන දිනයක් පිළිබඳව එම සමාගම සඳහන් කර නොතිබුණි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලබන ලබන දෙසැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන දෙසැම්බර් 02 වැනිදා නම් කර තිබේ.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයි ලංකා අයිඕසී සමාගම පවසයි. ඒ අනුව ඊට අදාළ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන බවත් සමාගම සඳහන් කරයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා අයිඕසී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 26.30ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී කොටසක අගය වූ රුපියල් 26.20ට සාපේක්ෂව ශත 10ක එනම් 0.38%ක ඉහළ යාමකි.

පසුගිය 2019/2020 මූල්‍ය වර්ෂය සඳහාද ලංකා අයිඕසී සමාගම ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර, එහිදී කොටසකට රුපියල් ශත 75ක් බැගින් ලාභාංශ හිමි විය.

ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් හා සාපේක්ෂව ඉදිරියේදී මෙරට බොරතෙල් මිල ඉහළ යාමේ අවස්ථාවත් සමගින්ම ලංකා අයිඕසී පීඑල්සී කොටස් වටිනාකම්ද ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන් වෙයි.

Visits: 285