“දැන්වත් රට තුළ ක්‍රමවත් කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්න” – කැලණි කේබල්ස් සභාපති ඉල්ලයි

රට තුළ ක්‍රමවත් කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමේ දැඩි අවශ්‍යතාවක් අද වන විට පවතින බව කැලණි කේබල්ස් පීඑල්සී සභාපති උපාලි මදනායක මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම එවැනි යම් ස්ථාවර ප්‍රතිපත්තියක් හරහා සිය මෙහෙයුම් වඩාත් සුමටව සිදු කරගෙන යාමේ හැකියාවක් පවතින බවත් ඔහු අවධාරණය කර සිටියි.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළ වූ කැලණි කේබල්ස් පීඑල්සී සමාගමෙහි වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් මදනායක මහතා මේ බව පවසා තිබේ.

“අද වනවිට රට තුළ යම් ක්‍රමවත් කර්මාන්ත ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් පවතිනවා. එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් මගින් කර්මාන්තකරුවන්ට වඩාත් සුමටව සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට උදව් සපයනවා.” ඔහු පවසා තිබේ.

විශේෂයෙන්ම තමන් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා රැසකදීම කරුණු දක්වා ඇති බව පෙන්වා දෙන උපාලි මදනායක මහතා, මේ හරහා ශ්‍රී ලංකාවේ විදුලි කේබල් නිෂ්පාදන කර්මාන්තය වඩාත් කාර්යක්ෂම තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයිද සඳහන් කරයි.

මේ අතර, දැනට පවතින වසංගත තත්ත්වය 2021/2022 මූල්‍ය වර්ෂය තුළදීත් එලෙසින්ම පවතිනු ඇතැයි තම සමාගම බලාපොරොත්තු වන බවද කැලණි කේබල්ස් පීඑල්සී සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.

එසේම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වේගවත් එන්නත්කරණ ක්‍රියාවලිය සහ රට හැකි ඉක්මණින්ම යළිත් සාමාන්‍යකරණයට ලක් කිරීම වඩාත් ධනාත්මක අවස්ථාවක් ලෙසද ඔහු පෙන්වා දෙයි.

“මේ සියල්ලමත් සමගින්ම අපද හැකි ඉක්මණින්ම අපගේ මෙහෙයුම් තත්ත්වයන් 100%ක ධාරිතාවයෙන් යළිත් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.” යනුවෙන්ද කැලණි කේබල්ස් පීඑල්සී සභාපතිවරයා සඳහන් කර ඇත.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැලණි කේබල්ස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 9,650ක ආදායමක් උපයාගෙන ඇති අතර දළ ලාභය රුපියල් මිලියන 1,284ක් ලෙස සටහන්ව ඇත.

එසේම මෙම කාලසීමාව සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල් මිලියන 621ක් ලෙස සටහන්ව ඇති අතර එය 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී හිමි වූ බදු පසු ලාභය වූ රුපියල් මිලියන 353ට සාපේක්ෂව රුපියල් මිලියන 268ක වර්ධනයකි.

Views: 226