මිල පාලනය අහෝසි කිරීමත් සමග ටෝකියෝ සහ ලාෆ්ස් ගෑස් වටිනාකම් ඉහළට

අද (ඔක්තෝබර් 08) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනුකරුවන් අතර උනන්දුව යම් තරමකින් අහිමි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම රටෙහි විදේශ මුදල් සංචිත සම්බන්ධයෙන් පැවැති කණස්සල්ල ආයෝජකයන් බැංකු අංශයේ සමාගම් තුළ ලාභ ඉපැයීම් වෙත යොමු වීම ඊට හේතු වී තිබේ.  

කෙසේ වෙතත් අයහපත් ආර්ථික තත්ත්වය මධ්‍යවේ වුවද, ඊයේ දිනයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන මිල පාලනය ඉවත් කිරිමට රජය තීරණය කිරීමත් සමගින්ම අද දිනයේදී ටෝකියෝ සිමෙන්ති සහ ලාෆ්ස් ගෑස් පීඑල්සී යන සමාගම්වල මිල ගණන් ඉහළ යාම සිදු විය. මේ අතර ආයෝජකයන් තුළ තවදුරටත් පවතින කැළඹිලි සහගත තත්ත්වය දිනයේ පිරිවැටුම අඩු කිරීමට හේතු වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,628.55ත් ඒකක 9,705.26ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,678.89ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 07) දිනයට සාපේක්ෂව ඒකක 7.89ක් එනම් +0.08%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව රෝයල් සෙරමික්ස් පීඑල්සී සහ හේලීස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 8.2%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 106ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+6.31), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+3.29), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.22), ටෝකියෝ සිමෙන්ට් කම්පැනි පීඑල්සී TKYO (+2.7), ලාෆ්ස් ගෑස් පීඑල්සී LGL (+2.41), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-7.16), සම්පත් බැංකුව SAMP (-5.14), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.64), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.43), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (-1.89යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,613.14ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 07) ‍ට සාපේක්ෂව ඒකක 6.33ක එනම් -0.17%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.05ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 07) වාර්තා කළ රුපියල් බිලියන 3.5ට සාපේක්ෂව 13% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.31ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 45.68%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 16.96ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 44.25ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 27.30කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.15ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒෂියන් හොටෙල්ස් ප්‍රොපර්ටීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.7 කි. එසේම ටෝකියෝ සිමෙන්ති කම්පැනි (ලංකා) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.81ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 770ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 663ක සහ රුපියල් මිලියන 573ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 349