ලෝක බැංකුව සිය Ease of Doing Business වාර්තාව පළ කිරීම නවත්වා දමයි

ලෝක බැංකුව මගින් වාර්ෂිකව සකස් කරන සුප්‍රසිද්ධ Ease of Doing Business වාර්තාව අත්හිටුවීමට එම සමූහය මගින් පසුගියදා තීරණය කර ඇතැයි පවසයි. ආසන්න වසර කිහිපයේදී මෙම වාර්තාව සකස් කිරීමේදී ඇති වූ බව පැවසෙන අක්‍රමිකතා ඊට හේතුව වී තිබේ.

ලොව රටවල ව්‍යාපාර සිදු කිරිම සඳහා පවතින අවස්ථාවන්, යටිතල පහසුකම් සහ රජයේ අනුග්‍රහයන් ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් වන නිර්ණායකවලට අනුව ලෝක බැංකුව විසින් ලොව ව්‍යාපාරයක් සිදු කිරීම සඳහා වඩාත්ම පහසු රටවල් ඇතුළත් කරමින් සෑම වසරකදීම මෙම Ease of Doing Business වාර්තාව නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා නිල නිවේදනය නිකුත් කරමින් ලෝක බැංකුව මෙම වාර්තාව නිකුත් කිරිම අත්හිටුවීම පිළිබඳව සඳහන් කර ඇත. 2018-2020 කාලසීමාව තුළදී මෙම වාර්තාව සකස් කිරීමේදී ඇති වූ දත්ත විකෘත්‍රි කිරීම් ඇතුළු අක්‍රමිකතා හේතුවෙන් ලෝක බැංකුව මෙම තීරණය ගෙන තිබේ. මෙම අක්‍රමිකතා පිළිබඳව පළමුවෙන්ම අනාවරණය වී ඇත්තේ 2020 ජූනි මාසයේදීය.

එවකට ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ හිටපු ලෝක බැංකු සභාපතිවරයෙකු වන ජිම් යොන්ග් කිම් එක්ව පරීක්ෂාව සිදු කර තිබේ. එහිදී එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පිහිටි නීති සමාගමක් වන විල්මර්හේල් සමාගම මගින් මෙම විමර්ෂණය පවත්වා ඇත.

එහිදී විවිධ රටවල් මෙම වාර්තාවේ දත්ත වෙනස් කිරීම සඳහා බලපෑම් කර තිබෙන බව මෙහිදී හෙළිදරව් වී ඇත. විශේෂයෙන්ම චීනය, එක්සත් අරාබි එමීරය, සෞදි අරාබිය සහ අසර්බයිජානය යන රටවල් මෙම වර්ගීකරණයේ ඉහළට පැමිණීම සඳහා අභ්‍යන්තරව විශාල මැදිහත්වීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අතරින් චීනය, හොංකොං සහ තායිවානය යන රටවලද දත්ත එරට දත්ත හා සම්බන්ධ කරමින් මෙම වාර්තාව වෙතඉදිරිපත් කර තිබෙන බව සඳහන් වෙයි.

ඒ අනුව 2021 වසර තුළදී නිකුත් කිරිමට නියමිතව තිබූ Ease of Doing Business 2021 වාර්තාව නිකුත් කිරීම අත්හිටුවීමටත්, මෙම වාර්තාව සම්බන්ධයෙන් සහ එහි ක්‍රමවේදය පිළිබඳව යළිවිමසීමක් සහ විගණනයක් කිරීම සඳහාද මේ වනවිටත් ලෝක බැංකුව කටයුතු ආරම්භ කර ඇතැයි පැවසෙයි.

“ලෝක බැංකු සමූහය මගින් ඉදිරිපත් කරන පර්යේෂණවල විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම වැදගත්. අපගේ සමූහය මගින් සිදු කරන පර්යේෂණ හරහා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ක්‍රියාවන් පිළිබඳව තොරතුරු ගෙන එනවා. ඒ වගේම රටවල් වෙත වඩාත් – දැනුවත් භාවයෙන් වූ තීරණ ගැනීමට උදව් කරනවා. ඊට අමතරව හවුල්කරුවන්ට වඩාත් නිවැරදිව රටක ආර්ථික සහ සමාජ දියුණුව පිළිබඳව මැනබැලීමට අවස්ථාව ලබා දෙනාවා. ඒ අනුව මෙවැනි පර්යේෂණයක් පෞද්ගලික අංශය, සිවිල් සමාජය, විද්‍යාර්ථීන්ට, මාධ්‍යවේදීන් ඇතුළු තවත් බොහෝ පිරිසකට ගෝලීය කාරණා පිළීබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට යොදා ගත හැකි දෙයක්.” යනුවෙන් ලෝක බැංකුව සඳහන් කර තිබේ.

පසුගිය වසරේදී ප්‍රසිද්ධියට පත් කෙරුණු ලෝක බැංකුවේ මෙම Ease of Doing Business වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලකුණු 61.8ක් ලබා ගනිමින් රටවල් 190ක් අතරින් එහි 99 වැනි ස්ථානයට පත්ව තිබුණි. එය ශ්‍රී ලංකාව 2019 වසරේදී එම වර්ගීකරණයේ සිටි 100 වැනි ස්ථානයේ සිට එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමකි.

Visits: 205