එක්ස්පෝලංකා ඇමෙරිකාවේ Complete Transport Systems LLC මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (එක්ස්පෝලංකා) සමාගමෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් වන සිංගප්පූරුවෙහි ලියාපදිංචි EFL Global Logistics (Pte.) Ltd සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවාහන සේවා සමාගමක් වන Complete Transport Systems LLC සමාගම මිලදී ගත් බව පවසයි.

පසුගිය සැප්තැම්බර් 08 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබෙන අතර මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 6.1කට එම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව Complete Transport Systems LLC සමාගමෙහි 100%ක හිමිකාරීත්වයක් අත්පත්කර ගැනීමට EFL Global Logistics (Pte.) Ltd සමාගම සමත්ව ඇතැයි පවසයි.

මෙම Complete Transport Systems LLC සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ලියාපදිංචි, බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ ට්‍රක් රථ සේවා සැපයුම් සිදු කරන සමාගමකි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ගෝලීය භාණ්ඩ ප්‍රවාහන සන්නාමය වන EFL වෙත වඩාත් ශක්තිමත්ව සහ පුළුල්ව සිය පාරිභෝගිකයන් වෙත අගය එකතු කළ ලොජිස්ටික්ස් සේවා සැපයීම සඳහා අවස්ථාව හිමි වන බවත් සඳහන් කරයි.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය මාසය අගදීද මධ්‍යම ඇමෙරිකාවේ ක්‍රියාත්මක ලොජිස්ටික්ස් සේවා සපයන සමාගමක් අත්පත් කරගැනීමට පියවර ගත් අතර, පසුගිය මාර්තු මාසයේදීද ඇමෙරිකාවේ ට්‍රක් රථ සේවා සහ ගබඩා පහසුකම් සපයන සමාගමක් අත්පත් කරගැනීමටද කටයුතු යොදා තිබේ.

මේ හරහා ඇමෙරිකානු කලාපය තුළ EFL මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කිරීම අරමුණ බව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 488