වසර තුළ මෙතෙක් ඉවත් කර ගත් විදෙස් ආයෝජනවල වටිනාකම රු. බිලියන 40 ඉක්මවයි

අද (සැප්තැම්බර් 03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ආයෝජකයන් තුළ බොහෝ ලෙස ලාභ ඉපැයීම් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම පිට පිට තෙවැනි දිනටත් ඉතාමත් ඉහළ විදෙස් ආයෝජන පිටතට ගලායෑමක් සිදු විය.

ඒ අනුව දිනය තුළ සිදු වුණු සියලුම ක්‍රියාකාරකම් හේතුවෙන් සහ ආයෝජක හැසිරීම් හේතුවෙන් දර්ශක අගයන් යම් තරමකින් පහළ වැටීම සිදුවිය. එහෙත් දිනයේ පිරිවැටුම මෙන්ම ගනුදෙනු ප්‍රමාණය පෙර දිනවලදී මෙන් ඉහළ අගයක පැවතුණු බවද තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,296.31ත් ඒකක 9,425.62ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,316.65ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 02) දිනයට සාපේක්ෂව ඒකක 19.33ක් එනම් -0.21%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, හේලීස් පීඑල්සී, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව ඡන්ද හිමි, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඒසීඑල් කේබල්ස් පීඑල්සී සහ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 4.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 105ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 102ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+8.8), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+6.5), ඕවර්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී OSEA (+5.0), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+4.7), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (+2.9), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-11.2), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.7), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-8.6), ජෝන් කිල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.9), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-5.2යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,494.76ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 02) ‍ට සාපේක්ෂව ඒකක 6.13ක එනම් -0.18%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.38ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 02) වාර්තා කළ රුපියල් බිලියන 12.03ට සාපේක්ෂව 22% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 40.23%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 59.11ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1,608.33ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 1,‍549.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 41.21ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.63 කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 1,327.81ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,266ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 35%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,903ක සහ රුපියල් මිලියන 1,747ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 443