EXPO සහ LOLC සමූහයේ සමාගම් දර්ශක අගයන් ඉහළ නංවයි

DvP ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් ඇතිවූ තාක්ෂණික ගැටලුවක් නිසා අද (අගෝස්තු 17) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භය විනාඩි 45ක පමණ පමාවක් සිදු විය. කෙසේ වෙතත් ඊයේ දිනයේදී මෙන් නොව අද දිනයේදී කැපී පෙනෙන ගනුදෙනු රැසක්ම සිදු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී LOLC සමූහයට අයත්,  වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් නිකුත් කර ඇති NIFL, CLC, LOFC යන සමාගම්වල කොටස් වටිනාකම් ඉහළ යාම දර්ශක අගයන් ඉහළ යාමට හේතු වී තිබේ. එසේම දිනයේ මැද දී පමණ EXPO සහ LOLC සමාගමේ කොටස් වටිනාකම්හි සිදු වූ ඉහළ යාම් දර්ශක අගයන් තවදුරටත් ඉහළ යාමට හේතු විය.

එහිදී අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළ ගිය ඒකක 197.24 අතරින් ඒකක 164ක් සඳහා සමාගම් පහක් පමණක් දායක වීම කැපී පෙනෙන අවස්ථාවක් විය. එසේම දිනය අවසානයේදී අනෙකුත් වටිනා සමාගම් සඳහා වන  වන ආයෝජක කැමැත්තද ඉහළ ගිය බව තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,937.28ත් ඒකක 8,161.92ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,134.52ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 16) දිනයට සාපේක්ෂව ඒකක 197.24ක් එනම් +2.45%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු කළ යුනිසෙස්ට් ඉන්ජිනියරිං ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 8.6%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 110ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 66ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+47.6), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+47.3), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+28.6), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+25.9), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+14.2), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (-8.8), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-8.4), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.3), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (-1.6), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (-1.1යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,033.98ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 16දා) ‍ට සාපේක්ෂව ඒකක 56.67 ක එනම් 1.90%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.91ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 16දා) වාර්තා කළ රුපියල් මිලියන 834.4ට සාපේක්ෂව 249% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.62ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 22.23%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 90.36ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 122.64ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 32.28කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.91ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 78.82 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 78.23ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 873ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 632 ක සහ රුපියල් මිලියන 607ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 267