Lamurep Investments සන්ෂයින් හෝල්ඩිංග්ස්හි තමන් සතු කොටස් වැඩි කරගනී

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වන Lamurep Investments Limited සමාගම සිය කොටස්හිමිකාරීත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇතැයි පවසයි.

ඒ අනුව පසුගිය අගෝස්තු 11 වැනිදා සහ 12 වැනිදා පිළිවෙලින් කොටස් 30,136,836ක් සහ 7,500,500ක් ලෙස මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. ඒ අනුව එම දින දෙකේදී මිලදී ගෙන ඇති කොටස් ප්‍රමාණය 37,637‍්,336කි.

මෙහිදී අගෝස්තු 11 වැනිදා සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක් රුපියල් 26.60ක් බැගින්ද 12 වැනිදා කොටසක් රුපියල් 25.50ක් බැගින්ද මිලදී ගැනීම සිදු කර තිබේ.

මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිට (2021 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කෙරුණු වාර්ෂික වාර්තාවට අනුව)  Lamurep Investments Limited සමාගම සතුව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 229,216,803ක හිමිකාරීත්වයක් පැවතී තිබේ. එය සමාගමේ කොටස් අතරින් 51.09%ක ප්‍රතිශතයකි.

මෙම ආසන්නතම මිලදී ගැනීමත් සමගින්ම Lamurep Investments Limited සමාගම සතු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ප්‍රතිශතය තවත් 8.38%කින් ඉහළ යන බව පැවසෙයි.

ඒ අනුව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ Lamurep Investments Limited සතු කොටස් ප්‍රතිශතය 59.47%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර 2020 මාර්තු 31 වැනිදා වනවිට Lamurep Investments Limited සමාගම සතුව සන්ෂයින් හෝල්ඩිංග්ස්හි තිබූ කොටස් ප්‍රමාණය 70,705,601ක් එනම් 47.28%කි.

Visits: 319