සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස දියුනුගේ දිනුජ් කසුන් රාජපක්ෂ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2021 ජුලි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූ දයාකාන්ති අබේරත්න මහත්මිය පසුගිය අප්‍රේල් මාසයේදී එම ධුරයෙන් ඉවත්වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙහිදී ඒ මහතා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ගෙන ඇත. මෙම නව පත්වීම සිදුවන අවස්ථාව වනවිට රාජපක්ෂ මහතා සතුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවද එම සමාගම සඳහන් කරයි.

කසුන් රාජපක්ෂ මහතා මේ වනවිට ඩී.එස්.අයි. සැම්සන් සමූහ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගමේ සහ සැම්සන් කම්පවුන්ඩ්ස් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයද දරයි.

මෙරට තුළ පාවහන් සහ බයිසිකල් ටයර නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩී.එස්.අයි. සමාගම හිමි රාජපක්ෂ පවුලේ තෙවැනි පරම්පරාව නියෝජනය කරන සාමාජිකයෙකු ලෙසද කසුන් රාජපක්ෂ මහතා සැලකෙයි. මෙරටදී ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඒ මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Deakin විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය සහ කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ විශේෂවේදී උපාධියක් හිමි කරගෙන තිබේ. අනතුරුව ඒ මහතා සිය පවුලේ ව්‍යාපාරය ශක්තිමක් කිරීම සඳහා යළිත් මෙරටට පැමිණ තිබේ.

කසුන් රාජපක්ෂ මහතා තරුණ ලංකා ව්‍යවසාකයන්ගේ මණ්ඩලයේ (COYLE) හිටපු සභාපතිවරයෙකුද වෙයි. එසේම ඒ මහතා NAITA ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේද හිටපු සාමාජිකයෙකුද වෙයි. මීට අමතරව දකුණු ආසියානු කලාපීය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ මහා සමුළුවේද සාමාජිකයෙකු ලෙස ඒ මහතා කටයුතු කර ඇත.

මෙම නව පත් කිරීමත් සමගින්ම ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ විද්‍යාජෝති වෛද්‍ය. බන්දුල විජේසිරිවර්ධන (සභාපති), රෝෂිනි කබ්රාල්, වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු, ලක්ෂ්මි සංගක්කාර, මයුර ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ කුෂාන් ඩි අල්විස්, නදුන් ප්‍රනාන්දු, වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න, ජගත් වැල්ලවත්ත, අෂීෂ් භාතියා, රිචා ඩෙගුප්ටා සහ කසුන් රාජපක්ෂ යන මහත්ම මහත්මින්ය.

Visits: 221