LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වඩාත් වටිනාම මූල්‍ය සමාගම වෙයි

LOLC සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL) සමාගම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය අතින් ලංකාවේ වඩාත් වටිනාම මූල්‍ය සමාගම බවට පත්ව ඇතැයි වාර්තා වෙයි. පසුගිය සතියේ සිට එම සමාගමේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඊට හේතුව වී තිබේ.

ඊයේ දිනයේදීද NIFLසමාගමේ කොටසක් රුපියල් 41කින් එනම් පෙර දිනයට සාපේක්ෂව 25%කින් ඉහළ යාම සිදු විය. ඒ අනුව දිනය අවසානයේදී එහි කොටසක වටිනාකම රුපියල් 205ක් බවට පත් වූ මේ පිළිබඳව වාර්තාවක් රැගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.  

එසේම ඊයේ දිනය තුළදී සිදුවුණු ගනුදෙනු 36ක් හරහා කොටස් 4,125ක් හුවමාරුව වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 0.83ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව ඊයේ දිනය වනවිට සමාගම මගින් නිකුත් කර තිබූ කොටස් මිලියන 237.9ට අනුව වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 48.77ක් බවට පත්ව තිබුණි.

පසුගිය සතියේදී NIFL හි කොටසක වටිනාකම රුපියල් 89 සිට 164 දක්වා 121%කින් ඉහළ යාම සිදුවිය. ඒ අනුව එය සති 54කට පසුව එම කොටසක් පත් වූ ඉහළම අගයද විය. මීට පෙර එම කොටසක අවම අගය වූයේ රුපියල් 70 කි. එම සතිය තුළදී පමණක් ගනුදෙනු 509ක් හරහා NIFL කොටස් 40,853කට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 4.9ක් විය.

මෙහිදී මෙලෙස NIFL වඩාත් වටිනාම මූල්‍ය සමාගම බවට පත්ව ඇත්තේ සිය සමූහයට අයත් තවත් මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිංඇන්ඩ්ෆිනෑන්ස් සමාගම එහි දෙවැනි ස්ථානය වෙත ඇද දමමින් බවත් පුවත්පත වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 40.8ක් විය. එසේම තෙවැනි ස්ථානයේ පසුවන එල්බී ෆිනෑන්ස් හි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 38.8න් වී තිබේ.

මීට පෙර BRAC Lanka Finance පීඑල්සී ලෙසින් හැඳින්වුණු LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 55.55%ක් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත හිමිව තිබේ. එසේම එහි පරිපාලිත සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් වෙත එහි 44.34%ක කොටස් හිමිකාරීත්වයක් සහිතය. 2021 මාර්තු 31 වැනිදා වනවිට එහි මහජන කොටස් හිමිකාරීත්වය 0.11%ක් ලෙස පැවති අතර කොටස් හිමිකරුවන් 241 දෙනෙකු අතර පමණක් එය බෙදීගොස් තිබුණි.

මේ අතර එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය ජනවාරි මාසයේදී අනාවරණයක් සිදු කරමින් සිය මූල්‍ය සමාගම් සියල්ල තනි සමාගමක් බවට පත් කරන බවත්, එමසමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කරවන බව පවසා තිබුණි. ඒ හරහා විශාල පරිමාණ විදෙස් ආයෝජකයන් ආකර්ෂණය අරමුණ විය.

ඒ අනුව මෙහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත පූර්ණ අනුබද්ධ පරිපාලිත සමාගමක් ලෙස LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් ලෙස සමාගමක් පිහිටුවීමටත්, අනතුරුව එය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමත් සැලසුම වී තිබේ.

මෙහිදී දැනට ලැයිස්තුගත LOLC සමූහයට අයත් මූල්‍ය සමාගම් වන එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී (LOFC), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් එම LOLC සිලෝන් සමාගම වෙත හුවමාරු කෙරෙන බව මෙහිදීඅ නාවරණය කර තිබුණි. මෙම සමාගම් තුන තුළ ඇති LOLC කොටස් හිමිකාරීත්වය පිළිවෙලින් 44.79%ක්, 98.92%ක් සහ 55.55% කි.

Visits: 423