ඇන්කර් බටර්වල චීන අකුරු තිබීම ගැන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා කරුණු පහදයි

වෙළෙඳ පොළෙහි ඇති ඇන්කර් බටර් නිෂ්පාදන ඇසුරුමෙහි සිංහල සහ චීන මැන්ඩරීන් යන භාෂා පමණක් ඇතුළත්ව තිබීමත්, දමිළ භාෂාව එහි ඇතුළත්ව නොතිබීමත් සම්බන්ධයෙන් මතුව ඇති කරුණ පිළිබඳව සිය සමාගම පෙනී සිටින බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පවසයි.

ඇන්කර් බටර් නිෂ්පාදන ඇසුරුම් තුළ මෙලෙස දෙමළ භාෂාව සටහන් නොවීම සම්බන්ධයෙන් ආසන්න දින කිහිපයේදී සමාජමාධ්‍ය තුළ මතු වූ දැඩි විරෝධයට පිළිතුරු ලෙස සමාගම මෙම කරුණු දැක්වීම සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති එම සමාගම තමන්ගේ ඇන්කර් බටර් නිෂ්පාදන ඇසුරුම් ශ්‍රී ලංකාවේ පවතින ඇසුරුම්කරණ නියාමනයන් සියල්ලම ආරක්ෂා කරමින් ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කර සිටියි.

“අපගේ ඇන්කර් බටර් නිෂ්පාදන ඇසුරුම් මත භාවිතාකර ඇති භාෂාවන් සම්බන්ධයෙන් ආසන්න කාලසීමාවේදී යම් අවධානයක් යොමුව තිබෙන බව අපට තේරුම් ගොස් තිබෙනවා.” යනුවෙන් සමාගම පවසයි.

විශේෂයෙන්ම මෙම ඇන්කර් බටර් නිෂ්පාදන යනු බහු-වෙළෙඳ පොළ නිෂ්පාදනයක් බවත්, නවසීලන්තයේදී නිෂ්පාදනය කර, ඇසුරුම් කර, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් වෙත ඒවා අපනයනය කරන බවත් සමාගම මෙම නිවේදනයේ පවසා තිබේ.

“මේ ඇසුරුමම තමයි ශ්‍රී ලංකාවේත් තිබෙන්නේ. මේ රටවල මූලිකවම භාවිතා කරන භාෂාවලින් එම ඇසුරුම් සකස් කර තිබෙනවා. අපි සැම විටම විවිධාංගීකරණය සහ පාරිභෝගික අවශ්‍යතාවන් ඉහළ වැදගත්කමක් කොට සලකනවා.” යනුවෙන්ද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Visits: 259