රුපියල් 5,000/= දීමනාව හතර වැනි වරටත් හෙට (ජූනි 02) සිට

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිවු වැනි වරටත් රුපියල් 5,000/= දීමනාව ලබා දීම හෙට (02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල් වෙත සේ ම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන යා නොහැකි පවුල් වෙත ද මෙම දීමනාව හිමි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 30කට ආසන්න  මුදලක් වැය කිරීමට අපේක්ෂා  කරන බව අද (01) බත්තරමුල්ල රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා තිබේ.

දැනට රජයේ කුමන හෝ සහනාධාර වැඩසටහනක් යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා පවුලකට ඔවුන් දැනට ලබා ගන්නා දීමනාව රුපියල් 5,000/=ට අඩු නම් අදාළ හිඟ මුදල මේ යටතේ ලබා දෙනු ලැබේ. පවුලක් වෙනුවෙන් එක් දීමනාවක් පමණක්  හිමි වන අතර සෑම මසකම 7 වැනි දා ගෙවනු ලබන සමෘද්ධි දීමනාව අදාළ හිග මුදලත් සමග ලබා දීම හෙට සිට ආරම්භ කෙරේ.

මීට පෙර මෙම දීමනාව ලබා දුන්නේ රට වසා ඇති තත්ත්වයක් තුළය. එහෙත් මෙවර රට තුළ සංචරණ සීමා පමණක් ක්‍රියාත්මක වන අතර ඇතැම් පුද්ගලයන්ට මේ වන විට සිය ආර්ථික කටයුතු සිදු කර ගැනීමට අවසර ලබා දී  ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් නිශ්චිත ලෙස අදාළ දීමනාව හිමි විය යුතු පුද්ගලයන් කවුරුන් ද යන්න තීරණය කිරීමේ වගකීම ග්‍රාමීය කමිටු වෙත පැවරී තිබේ. ග්‍රාමීය කමිටුවල නිර්දේශය මත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලද වහාම අදාළ දීමනාව ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් පසුගිය අවස්ථාවන්වල දී දින තුනක හෝ හතරක කාලයක් තුළ සියලුම දීමනා ලබාදීමට කටයුතු කළද පවතින සංචාරණ සීමා, සෞඛ්‍ය උපදෙස් ආදී කරුණු හේතුවෙන් දීමනා ලැබීම සඳහා දින කිහිපයක් ගත විය හැකි බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.

Visits: 41