ලිට්‍රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් සමාගම් ඒකාබද්ධ කිරීමේ රජයේ සැලසුමක්

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම සතු ලාෆ්ස් ගෑස් යන සමාගම් දෙක ඒකාබද්ධ කරමින් මෙරට වෙත එල්පී ගෑස් ආනයනය සහ බෙදාහැරීම තනි සමාගමක් යටතට පත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. මෙහිදී රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) ක්‍රමවේදය යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදු කිරීම සැලසුම වී ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව දැනටමත් මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලය වෙත ලබාදී තිබෙන බවත් සඳහන් වෙයි. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය වෙනුවෙන්ද, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශය වෙනුවෙන්ද ඊට අත්සන් තබා තිබේ.

පුවත්පත පවසන ආකාරයට 2019 වසරේදී ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ ගෑස් මිලෙහි අඩු කිරීම මෙන්ම අදවනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අවප්‍රමාණයවීම නිසා මෙම කර්මාන්තය වෙත සිදුව තිබෙන මෙහෙයුම් අලාභ ඇතුළු අනෙකුත් පසුබැසීම් වෙත පිළියමක් ලෙසින් සහ කර්මාන්තය තුළ දිගුකාලීන තිරසාරත්වයක් ළඟා කරගැනීම සඳහා වන නව උපායමාර්ගයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.

අද වනවිට රජයට අයත් ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම සතුව මුතුරාජවෙල ගෑස් පර්යන්තයෙහි මෙට්‍රික් ටොන් 8,000ක එල්පී ගෑස් ගබඩා කර තබා ගැනීමේ හැකියාව පවතී. මෙය වෙළෙඳ පොළ අවශ්‍යතාව අනුව දින තුනක සිට හතරක් දක්වා සඳහා ප්‍රමාණවත් වන්නකි. මේ අතර ලාෆ්ස් ලංකා පෞද්ගලික සමාගම සතුව හම්බන්තොට වරායේ පිහිටි පර්යන්තය තුළ එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවක් පවතී. එසේම එය මෙට්‍රික්ටොන් 65,000ක් දක්වා ඉහළ නංවා ගැනිමේ හැකියාවද සමාගමට ඇත.

ඒ අතරම, අද වනවිට හම්බන්තොට පර්යන්තයේ පිහිටි මෙම ලාෆ්ස් ගෑස් ගබඩාවේ ඇති එල්පී ගෑස් බංග්ලාදේශය, මියන්මාරය, මාලදිවයින සහ ඉන්දියාව වෙතත් අපනයනය කරයි.

ඒ අනුව ඉදිරියේදී යළිත් සිදුවිය හැකි ගෑස් මිල ඉහළ දැමීමක් වළක්වා ගැනීම සඳහා මෙලෙස එම සමාගම් දෙක සහ එහි ඇති සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යය වී තිබේ. විශේෂයෙන්ම ඉදිරියේදී ඉහළ යන බොරතෙල් මිල අනුව සලකමින් මෙම තීරණය ගත යුතුව ඇතැයි රජය පවසයි.

“පසුගිය වසර හයේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 40ක පමණ සාමාන්‍යයක පැවතියත්, ඉදිරියේදී එය ඩොලර් 70ක් දක්වා ඉහළ යෑමේ අවස්ථාවක් පවතිනවා.” මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබේ.

මේ අතර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු දෙකක්ද හේතුව තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. එහිදී මූලිකවම ලාෆ්ස් ගෑස් සමාගම මේ වනවිටත් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් පිළිවෙලින් රුපියල් බිලියන 12.12 ක සහ රුපියල් බිලියන 10.1ක ණය පහසුකම් ලබා ගෙන ඇති අතර, තවදුරටත් සමාගම වෙත ණය ලබාදීම අසීරු බවට එම බැංකු පවසා තිබීම ඊට හේතුවයි.

ඒ අනුව උදාහරණයක් ලෙස මෙම සමාගම් දෙක සඳහාම අවශ්‍ය ගෑස් සැපයුම් එක් නෞකාවක් හරහා හම්බන්තොට වරාය වෙත ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණහොත් එය සමාගම් දෙක වෙතම සිය ප්‍රවාහන කටයුතු සඳහා වන පිරිවැය ගෑස් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 70කින් පමණ අඩු කරගැනීමට හැකියාව ලැබෙන බවත් පැවසෙයි.

“සමාගම් දෙකම ඒකාබද්ධ වීමෙන් එකිනෙකා සඳහා ගෑස් මිලදී ගැනීමට වන ප්‍රසම්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ යනාදී වියදම් අඩු කරගැනීමට හැකියාව ලැබේවි.” මෙම කැබිනට් පත්‍රිකාව තුළ සඳහන්ව ඇත.

මෙම නව ඒකාබද්ධතාව හරහා රට වෙත එක්වරකට එල්පීගෑස් මෙට්‍රික්ටොන් 30,000ක් ගෙන්වා ගැනීම යෝජනා වී ඇත. එහිදී හම්බන්තොට ගබඩා පර්යන්තය තුළ සමාගම් දෙක මගින් පිළිවෙලින් ලිට්‍රෝ සමාගම මෙට්‍රික්ටොන් 25,000ක්ද ලාෆ්ස් සමාගම මෙට්‍රික් ටොන් 5,000ක්ද වන ලෙස හවුලේ ගබඩා කර පවත්වාගෙන යාම සැලසුම වි ඇත.

මීට අමතරව මෙම නව ඒකාබද්ධවීම මගින් බංග්ලාදේශය,ඉන්දියාව සහ මාලදිවයින වෙත තවදුරටත් එල්පීගෑස් මෙට්‍රික් ටොන් 30,000 – 35‍,000ත් අතර ප්‍රමාණයක් අපනයනය කළහැකි වෙනු ඇති බවත් ඒ හරහා රටට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාවක් පවතින බවත් කරුණු දක්වා තිබේ.

මේ අතර මෙම කැබිනට් පත්‍රිකාව මගින් ලිට්‍රෝ ගෑස් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සහ ලිට්‍රෝ ගෑස් කම්පැනි ලිමිටඩ් සමාගම් වෙත ලාෆ්ස් ගෑස් ටර්මිනල් සමාගමේ 40%කට වඩා වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්කරගනිමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු දෙකක් හිමි කරගැනීමට කටයුතු සකස් කරන ලෙසද මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව නව ඒකාබද්ධවීම හරහා ඉදිරියේදී වරාය සහ ගුවන් තොටුපොළ ගාස්තු කපා දැමීමක් හරහා කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක සිල්ලර මිල රුපියල් 1,493ක් (කොළඹ මිල) යන ස්ථාවර මිලෙහි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් අවධාරණය කර තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 964