ඊ බී ක්‍රීසි සිය මෙහෙයුම් පුළුල් කිරීමට රුපියල් මිලියන 600කට ඉඩමක් මිලදී ගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඊ බී ක්‍රීසි සහ සමාගම (E B Creasy & Co. PLC) සිය සමාගම හා සබැඳි සමාගමක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමට අයත් සපුගස්කන්දේ පිහිටි ඉඩමක් රුපියල් මිලියන 600 ක මුදලකට මිලදී ගැනීමට සූදානම් වන බව පවසයි.

සපුගස්කන්ද, ගෝනවල පිහිටි මෙම ඉඩම ‘අලුබෝගහවත්ත’ සහ ‘බටදොඹගස්වත්ත’ යන නම්වලින් හඳුන්වන බවත්, එහි සමස්ත භූමි ප්‍රමාණය අක්කර 5යි රූට් 1 පර්චර්ස් 27.90ක විශාලත්වයක් ගන්නා බවත් සමාගම මේ පිළිබඳව කරුණු අනාවරණය කරමින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙස මෙය සිදු වීමට නියමිතව තිබේ. එහෙත් මෙම මිලදී ගැනීමට අදාළ දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කෙරී නැති අතර, 2021/2022 මූල්‍ය වර්ෂය තුළදී එම ගනුදෙනුව සිදු වෙනු ඇති බවත් සමාගම් දෙකම සඳහන් කරයි.

මෙම මිලදී ගන්නා ඉඩම මගින් සිය නිෂ්පාදන පරිශ්‍රයන් පුළුල් කරගැනීමට මෙන්ම සිය මෙහෙයුම් අවදානම් අවම කරගැනීමත් බලාපොරොත්තු වන බව ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි සමාගම පවසයි.

ඒ අනුව සිය සමාගම යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තශාලාව පිහිටි ස්ථානයෙන් පරිබාහිරව තවත් ස්ථානයකදී මෙලෙස අමතර නිෂ්පාදන ඒකකයක් පිහිටුවීමට කටයුතු යොදන බව සමාගම සඳහන් කරයි. එසේම මෙම ඉඩම තුළ සමාගමේ ගබඩා පහසුකම් සංවර්ධනය කරගැනීමක් සඳහාද සමාගම බලාපොරොත්තුව සිටියි.

මෙහිදී අදාළ ගනුදෙනුව සාමාන්‍ය වෙළෙඳ රීති අනුව සිදු වන බවත්, ඒ හරහා සමාගමේ කොටස් වටිනාකම්වලට හෝ එහි සුළු කොටස්හිමිකරුවන් වෙත හෝ කිසිදු බලපෑමක් එල්ල නොකරන බවත් සඳහන් කර සිටියි.

එසේම මෙම ගනුදෙනුවට පෙර ස්වාධීන විශේෂඥයන් පිරිසක් අදාළ දේපළ පිළිබඳවට වටිනාකම් තක්සේරුවක් සිදු කරනු ඇති බවත් සමාගම පෙන්වා දෙයි.

මේ අතර 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි සමාගම සහ ලංකෙම් සිලෝන් පිඑල්සී සමාගම අතර සිදු වුණු (ඉහත සඳහන් ගනුදෙනුව හැර) ගනුදෙනුවල වටිනාම රුපියල් 6,488,389ක් බවත් සමාගම පවසයි.

එසේම මේ දක්වා සමාගම සහ එහි සබැඳි පාර්ශ්වයන් අතර සිදු වුණු සමස්ත ගනුදෙනුවල වටිනාකම රුපියල් 144,485,256ක් බවත් එය ඉහත සඳහන් කළ ගනුදෙනුව හැර ගනුදෙනු වන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 362