ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ලාභාංශ ගෙවීම ශත 60 යිලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදි මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 60 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා වී තිබේ.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම බව ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 09 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 30 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද අවශ්‍යව තිබේ. එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 29වැනිදා පැවැත්වෙන බවත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම පවසයි.

හේලීස් සමූහයට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු මාසයේදීද කොටසකට රුපියල බැගින් ලාභාංශ ගෙවීමක් නිවේදනය කර තිබුණි.

එසේම එම සමාගම 1 ට 10ක් ලෙස සිදු කළ කොටස් අතුරු බෙදීමක් හරහා මේ වනවිට සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 59,861,512 සිට කොටස් 598,615,120ක් දක්වා දස ගුණයකින් ඉහළ නැග ඇත.

Visits: 167