ෂර්හාන් මුෂීන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම ගැන කොමර්ෂල් බැංකුවෙන් පැහැදිලි කිරීමක්

කොමර්ෂල් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරුණු මුෂීන් මොහොමඩ් ෂර්හාන් මොහොමඩ් මහතා (ෂර්හාන් මුෂීන්) සම්බන්ධයෙන් කොමර්ෂල් බැංකුව අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

පසුගිය පෙබරවාරි 15 වැනිදා ඒ මහතා කොමර්ෂල් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ගැනුණි. ඒ අනුව ඔහු බැංකුවෙහි විධායක නොවන/ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස එදින සිට කටයුතු කරන බව බැංකුව පවසයි.

එහෙත් ෂර්හාන් මුෂීන් මහතා සම්බන්ධයෙන් නිකුත් කළ සටහන තුළ පත්වීම් ලබන අවස්ථාව වන විට ඒ මහතා සතුව කොමර්ෂල් බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයක් නොමැති බවට සටහන්ව තිබූ බවත්, එය එසේ නොවන බවත් කොමර්ෂල් බැංකුව මෙහිදී දැනුම් දී සිටියි.

ඒ අනුව මේ වන විට බැංකුවට දැනගැනීමට ලැබී ඇති ආකාරයට ඒ මහතා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් වීම් ලබන අවස්ථාවේදීත් කොමර්ෂල් බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,448 ක හිමිකාරීත්වයක් සහිතව සිටි බව දැනුම් දෙන බව බැංකුව පවසයි.

එම අවස්ථාව වන විට අදාළ කොටස් හිමිකම් පිළිබඳව සටහන් මධ්‍යම තැන්පතු පද්ධතිය තුළ සටහන්ව නොතිබීම ඊට හේතුව බවද කොමර්ෂල් බැංකුව මෙහිදී සඳහන් කර සිටියි.

මේ අතර ෂර්හාන් මුෂීන් මහතා පසුගියදා අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරිණි.

එම සමාගම මගින් සඳහන් කර ඇති ආකාරයට මුෂීන් මහතා ඒකාබද්ධකිරීම් සහ අත්පත් කරගැනීම්, සාංගමික මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ දශක දෙකකට අධික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ට ආයෝජන බැංකුකරුවෙකි.

එහිදී ඒ මහතා ආසියාව පුරාම මූල්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ට නායකත්ව කණ්ඩායම් නියෝජනය කර ඇතැයිද පවසයි.

මෙම සේවා කාලය තුළදී ඒ මහතා විසින් සිදු කළ ඒකාබද්ධ කිරීම් සහ ප්‍රාග්ධන-රැස්කරගැනීමේ ගනුදෙනුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 100 ඉක්මවන බවත් සඳහන් වෙයි.

Visits: 530