ශ්‍රී ලංකාවේ ඉස්සන්ට ජෝර්දානයෙන් ලොකු ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ වන්නමෙයි ඉස්සන් මෙට්‍රික් ටොන් 5.6 ක් සඳහා ජෝර්දානයෙන් ඇණවුමක් ලැබී ඇතැයි එරට අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම තානාපති කාර්යාලය මගින් සිදු කරන ලද ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ මෙම ඇණවුම ලබා ගැනීමට හැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ වන්නමෙයි ඉස්සන් ජෝර්දාන් වෙළඳපොළට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයකි. මෙතෙක් කලක් ජෝර්දානයේ අලෙවි කරනු ලබන්නේ වියට්නාම සම්භවයකින් යුත් වන්නමෙයි ඉස්සන්ය.

මෙම නිෂ්පාදනය හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මැතිනිය ජෝර්දාන කළමනාකාරිත්වය සමඟ කළ සාකච්ඡාවලින් පසුව, ජෝර්දානයේ එච්ටීසී ඇක්වාකල්චර් (HTCey Aquaculture (Pvt) Ltd) සමාගම විසින් මෙම ඉස්සන් ඇණවුම ශ්‍රී ලංකාව වෙත බාර දී තිබේ.

ගුණාත්මක මුහුදු ආහාර සඳහා ජෝර්දානයේ පවතින ඉල්ලුමෙන් විශාල අපනයන ප්‍රමාණයක් ලබා ගැනීම පිණිස, ශ්‍රී ලංකා මුහුදු ආහාර සමාගම්වලට වෙළඳ හා ව්‍යාපාරික අවස්ථා තවදුරටත් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාශීලී ලෙස ජාලගත වී ඇතැයිද පවසයි.

Visits: 134