සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යවසායකයන් 25කට ‘Made in Sri Lanka’ සන්නාමය

ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට “Made in Sri Lanka සන්නාමය” පිරිනැමීම පසුගියදා සිදු විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව මෙම ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව කොළඹ 02, හිල්ටන් රෙසිඩන්සිස් හෝටල් පරිශ්‍රයේදී ව්‍යවසායකයන් 25 දෙනෙකු වෙත මෙම “Made in Sri Lanka සන්නාමය” පිරිනැමීම සිදු වී තිබේ.

මෙය එම සන්නාමය පිරිනැමුණු දෙවැනි අවස්ථාව වන අතර 2020 දෙසැම්බර් 15 වැනිදා පැවැති පළමු අවස්ථාවේදීද ව්‍යවසායකයන් කිහිප දෙනෙකු වෙත මෙම සන්නාමය පිරිනැමීම සිදු විණි. මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිට ඇත.

Visits: 75