විදෙස් ආයෝජන කඩිනම් කිරීමට ආයෝජන කළමනාකරණ කමිටුවක්

මෙරට තුළ ආයෝජනය සඳහා පැමිණෙන ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින්, ‘ආයෝජන කළමනාකරණ කමිටුව’ නමින් නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇතැයි පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව සමන්විත වන බව පැවසෙයි.

මෙහිදී ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරෙන බව අද දිනයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී අනාවරණය කෙරිණි.

විශේයෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු මෑතකදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර ඇතැයි රජය පවසයි. එහෙත්, එවැනි ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බව බලධාරීන් පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ආයෝජකයාගේ උනන්දුව මත ශ්‍රී ලංකාවේ ආයෝජන බලධාරින් මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුව තිබෙන බවත් රජය පවසයි.

“මෙම තත්ත්වය යටතේ එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ කඩිනම් අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ‘ආයෝජන කළමනාකරණ කමිටුව’ නමින් භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරීමටත් යෝජනා වී තිබේ.” යනුවෙන් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී දී අනාවරණය කෙරිණි.

Visits: 148