කටුනායක ගුවන්තොට සංවර්ධනයට අදාළ ජපාන සමාගමට එරෙහිව ජපාන රජයට පැමිණිලි කිරීමට යයි

කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් අවසන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන ජපන් කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට ජපන් තානාපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට පසුගියදා (19)  උපදෙස් ලබා දී තිබේ.

කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (19) කටුනායක ගුවන්තොටුපලේදී පැවති අවස්ථාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම උපදෙස් දුන් බව පැවසෙයි.

2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ශිං ශුවා අබේ මහත්වරුන් අතර ඇති වූ එකඟතාවයක් මත කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,394ක මුදලක් ණය මුදලක් ලෙස පිරිනමා ඇත.

මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 21,645 කි. මෙම ව්‍යාපෘතිය ඒ සහ බී පැකේජ දෙකක් යටතේ සිදුකෙරෙන අතර බී ව්‍යාපෘතිය සඳහා ඇස්තුමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 06කි.

මෙම බී පැකේජයේ ඉදිකිරීම් භාරව සිටින්නේ ජපන් කොන්ත්‍රාත් සමාගමකි. ගුවන්යානා නැවතුම් අංගන, කුලී රථ ගාල්, බැහැරුම් පථ වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2017 වසරේ අප්‍රේල් 27 වන දිනයි. එය 2019 ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි.

විවිධ හේතුන් මත එහි ඉදිකිරීම් ප්‍රමාද වුණු අතර අවස්ථා කිහිපයකදී ඒ සඳහා අමතර කාලයද ලබා දීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පියවර ගත්තේය. අවසන් වරට කාලය දීර්ඝ කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය අවසන් කර භාර දීමට තිබෙන්නේ මේ වසරේ පෙබරවාරි මාසයේදියි.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අඳාල සමාගම විවිධ හේතු දක්වමින් තවදුරටත් කාලය ඉල්ලා සිටි අතර ඇමතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

“මේක ආධාරයක් නෙමෙයි, ණයක්. දැනටත් මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අවුරුදු 1 ½ කට ආසන්න කාලයක් ලබා දීලා තියෙනවා. අපිට කිසිම ආදායමක් නැතුව ණය ගෙවන්න වෙනවා. මේක ඉක්මන් කරන්න කියලා අවස්ථා ගණනාවක කිව්වා. නමුත් විවිධ හේතු දක්වමින් තවත් ඒක අදිනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා අපිට මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙනවා. ඒ නිසා අපි මේ පිලිබඳව ඔබේ රජයට පැමිණිලි කරනවා.ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ” ඇමතිවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කලේය.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සුරියාරච්චි යන මහත්වරුද අදාළ කොන්ත්‍රාත් සමාගමේ සහ උපදේශක සමාගමේ නියෝජිතයන්ද එක්ව සිට ඇත.

Visits: 125